kandy news web
kandy news web

අද්විතීය නායකත්වය වෙනුවෙන් 26 වන මතක සැමරුමේදී පිදෙන මතක තුති පියුම

තෙරුණි ද සිල්වා

0 50

නැතිබැරිකම් නැතිකිරීමට, ඇති හැකියාවන් වැඩි දියුණු කිරීමට, දිළිඳුකම පිටුදැකීමට හා ධනාත්මක සිතුවිලි ඇති කරමින් ජනී ජනයා වෙනුවෙන් සේවය කිරීමට කැප වූ නායකයෙකි. දිළිදුකම නැතිකරමින්  සංවර්ධනය කරා සීඝ්‍රගාමි ගමන් යාම වෙනුවෙන් පාර කැපූ නායකයා ඔහු,

කවුද මොහු …..

AD2

නමින් රණසිංහ ප්‍රේමදාස ජන නායකයා විය. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී නායකතුමන් විය. ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට ප‍්‍රථම ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායකවරයාය.

මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි ‍පොතක් වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවේ. ලාංකීය අමතක නොවන නාම රාශියකි. ඒ අතරින් මෙතුමන්ගේ නාමය රැදෙනුයේ රන් පත්තිරුවකය. දේශපාලන නායකයකු ලෙස නොව හිත හොද පුද්ගලයෙකි. උගත් නූගත් දුප්පත් පොහොසත් සැමගේ හිතවතෙකි. එබැවින් අද වැනි දිනක ඔහු ගැන කතාකළ යුතුමය.

දේශපාලන මතක තුළ නම් ලංකාවේ අමතක නොවන චරිත අතලොස්සකි. ඒ අතර එතුමන් පුංචි මිනිහා සමග වැඩි ඇසුරක් පවත්වා ගෙන යමින් කටයුතු කළ එකම ජන නායකයා ලෙස හැදින්වුවහොත් කවුරුත් එය අවිවාදයෙන් පිළිගනිති. ඔහු අහස උසට බැඳි තාප්පවලින් හෝ වැටකඩොලු බැඳගෙන හෝ දහස් ගනන් ලොකු තාප්ප බැදගෙන දහස් ගණන් ආරක්ෂකයින් මත ගමන් බිමන් ගිය දේවත්වයෙන් වැජබුනු නායකයෙකු නොවන්නේය. තම සමීපය ජනතාව සමීපයේ තබා ගැනීම එතුමන්ගේ කැමැත්ත විය. ආරක්ෂක නිළධාරීන් වෙනුවෙන් පවා එවැනි උපදෙස් ලබා තිබුණු බව සඳහන්වේ.

“ ජනපති ජංගම සේවා ” වැඩසටහන යටතේ රට පුරා සිටින දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබා ගත නොහැකි ජනතාව වෙනුවෙන් එම දේශපාලන නායකයන් ඔවුන් වෙත ගෙන යාම මෙතුමන්ගේ නිරහංකාරිත්වය පෙන්වූ අවස්ථාවකි.

ජනසවිය“ මේ පොළොවේ ජනිත වූ සංකල්පයකි. එතුමන් විසින් ඇති කළ සංකල්පයකි.

පක්ෂ ‍පාට ජාති කුල භේදවලින් තොරව විනිවිද පෙනෙන ක්‍රමවේදයක් තුළින් දුප්පතුන් නිවැරදිව හඳුනා ගනිමින්, එය ක්‍රියාවට නැගුණේ තුන්වේල කෑමට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි.

“සෙවණ මා පිය කැපකරු ක්‍රමය” යටතේ මව්පියන්ගේ අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නට විය.

 “පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ” හරි කෑම වේලක් නොමැති පාසලට බඩගින්නේ පියමනින මල්කැකුලු වන් දරුවන් වෙනුවෙන් බඩගිනි නිවන්නට සමත්විය.

 “මාවතේ අපි “ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැඟුණේ මහ මග සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබා දෙමින් ඔවුන් නගා සිටුවන්නටය

“උණ බම්බු ගේට්ටු වැඩ පිළිවෙළ” තුලින් දුම්රිය හරස් මාර්ගයන්හි දී දිනපතා නිරපරාදේ රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය ලබා දුන්නේය.

විශේෂයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය අපමණය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද කුමන එදිරිවාදිකම් පැවැතියද, එතුමා ගෙන ගිය වැඩපිළිවෙළේ හරවත් යමක් විය. එය දුගී දුප්පත් ජනතාවට මහත් සහනයක් විය. නෑ බෑ යන්න වෙනුවට කළයුත්ත නිලධාරීන්ගෙන් බලා‍පොරොත්තු විය. කල් දැමීමට හෝ කල් මැරීමට අකමැතිය. එවැනි නිලධාරීන්ට ඔහු ප්‍රියනොකලේය.

නැහැ, බැහැ කියන්නට එතුමන්ගේ දිව නොනැමුනේය. “ සෙවණ අරමුදල” රජයේ ප්‍රතිපාදන ඉටු කළ නොහැකි ජනතා සේවාවන්ට අනුග්‍රහ ලබාගත හැකි මූලාශ්‍රයක් වශයෙනි.

එතුමන් සෑම ආගමකටම ජන කොටසකටම එක හා සමානව සලකන්නට විය. සෑම ආගමික ජන කොටසක් වෙනුවෙන්ම “ ආගමික අමාත්‍යංශ” ආරම්භ කළේය.

අදටද බොහෝ දේශපාලනඥයින් පාමුල සිට කදු මුදුනට නැගි පසු පහල බැලන්නේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා එසේ නොවීය. එතුමාගේ ජනප්‍රියත්වයට හේතුව එය විය.

එක්සත් ජාතික පක්ෂයේ අයෝමය ශක්තිය දෙදරන්ට නොදී එතුමන්ගේ රැක ගැනීම වෙසෙසින් අගය කළ යුතුය. පැසසිය යුතුය. යුද්ධය මුහුණ දෙමින් භාණ්ඩ මිල සමබරව පවත්වාගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනය 8 දක්වා ඉහළ නැංවීමට දක්ෂවීම ප්‍රශංසනීය කටයුත්තකි. එය වෙසෙසින් අගය කළ යුතුය.
අද යුද්ධය නිමාවී සාමකාමී පරිසරය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය එදා යුද්ධ දෙකක් කරමින් ලබාගැනීමට හැකිවිය. ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කලේය.

එතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ අදටද එදවස ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියකි. එසේ නොවන්නට මෙතෙක් රටේ උග්‍ර නිවාස ප්‍රශ්නයක් මතුවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. කෙසේ වෙතත් එම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයක් රටේ සතර දිග්භාගයෙන්ම සොයා ගත නොහැක. එපමණට ගම තුළට නිවාස වැඩපිළිවෙළ ඇදී ගියේ ය. උදාකළ ගම්මාන, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඒ අතර වේ.

ජල ප්‍රශ්නයටද විසඳුම් ලබා දීමට රටපුරා ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කළේය. නාගරික ජනගහනයෙන් 82කට ත් ග්‍රාමීය ජනතාවගෙන් 67කටත් පිරිසිදු පානීය ජලය ලබාදීමට සමත් විය. විශේෂයෙන් අති විශාල නළ ළිං ප්‍රමාණයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඉදි කළේය.
සුචරිත ව්‍යාපාරය මගින් දායාද කොට රටට ලබාදුන් මෙම උතුම් මිනිසා සමාජයට වැඩදායක මෙන්ම සමාජයට මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකු වූ අතර යා යුතු මග නොබියව ඉදිරියට යන කොන්ද පණ ඇති අයෙකු විලසින් තිස් හත් වසරක් දේශපාලනයෙහි නියැලුනේය. එතුමා ‍පොළවට බරක් වූයේ නැත.
නමුත් එක් මැයි 1වනදාවක් මෙවැනිම කම්කරු දිනයක් වෙනුවෙන් පාරට බැසි එතුමන්  මැයි පෙළපාලියකදී රටට අහිමි විය. රටට අහිමි වූවාට වඩා අහිමි කළා යන්න වඩාත් උචිතය. මහත් ජන මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකුගේ මෙහෙවර එසේ අවසන් කළේය. කෙසේ වෙතත් වියයුතු දේ දැන් සිදු වී හමාරය. එහෙත් ඒ මහතාගේ ප්‍රතිපත්ති අදද රටට අවශ්‍යය.

නින්දෙන් අවදිවූවක් මෙන් හෝ කරන්නන්වාලේ නොකර සියල්ල ස්ව කැමැත්තෙන් අනුස්මරණය කරනු ලබන මෙතුමාගේ වියෝවට අදට වසර 26කි. එතුමා ‍සේවය කළේ පොඩි මිනිහාටය. එබැව්න් සැමගේ සිත්තුල ජිවමාන මෙතුමාගේ වියෝව අදටද දැනෙන්නේ තවත් එක් පොඩි මිනිසෙකුටය. එතුමාගේ සේවයට කෘතගුණ සලකණ ජනතාවක් අදටද එතුමන්ගේ නාමයෙන් කදුලු සලති.

මෙවන් රජුන් නායකයින් හෙළ දෙරණට ආඩම්බරයකි. හෙට නායකත්වයටද මෙවැනි උත්තම පුරුෂයන් පත්වේවා යැයි ප්‍රාර්ථතනා කරමු. එමෙන්ම එතුමන්ට අජරාමර නිවන් සුව පතමි.

සදාදරණීය වූ නායකයාණෙනි, ඔබ අපේ සිතේ සදාතනික මතකයකි.

(තොරතුරු හා ඡායාරූප – අන්තර්ජාලයෙනි)

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.