අලි දෙදෙනෙකු නිසා කුඩාවල්පොළ ගමේ වැසියන් දැඩි අසීරුතාවයක
අතුල බණ්ඩාර - අනුරාධපුර

මැදවච්චිය, කුඩාවල්පොළ හා ඒ අවට ගම්මානවලට දිනපතාම පාහේ රාත්‍රී කාලයේ කඩා වදින වල් අලි දෙදෙනෙකු තම වගාවන්ට හානි සිදු කරන බව එම ගම්වල වැසියන් පවසනවා.
මෙම වල් අලි දෙදෙනා අල්ලා වනෝද්‍යානයකට ගෙන ගොස් දමන ලෙස හෝ ඈත වනාන්තරයකට පළවා හරින ලෙස වනජීවි දෙපාර්තමේන්තුවෙන් කොතෙකුත් ඉල්ලීම් කළද මේ වන තෙක් ඉන් පළක් වී නොමැති බවද ඔවුන් පවසනවා.
පැවැති නියඟය නිසා වසර තුනක් ගොවි තැනක් කර ගැනීමට නොහැකිව සිට මෙවර ඇද හැළුණු වර්ෂාවක් සමග ගොඩමඩ වගා කටයුතු සාර්ථකව ආරම්භ කළ නමුත් දැන් ඒ සියල්ලම මේ වල් අලි දෙදෙනා විසින් විනාශ කර ඇතැයි ඔවුන් පවසන්නේ හිත් වේදනාවෙනි.
කළින් මෙම රැළේ වල් අලි තිදෙනෙකු පවසන ගම්වාසීහු, පසුගිය මාසයේ මුලදී ඉන් එක් අලියෙකු කුඩා වල්පොළ ගමේ වගා ඉඩමක් අසලදී විදුලි සැරවැදී මරණයට පත්වූ බවත් ඒ සම්බන්ධයෙන් සැකපිට පොලීසිය අත්අඩංගුවට ගත් එම වගා ඉඩමේ අයිතිකරු අධිකරණ නියෝග මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි පසුව ඇප මත මුදාහැරුණු බවත් පවසති.
එම තැනැත්තා ඇපමත මුදාහැර පැමිණෙන විට අනෙක් වල් අලි දෙදෙනා ඔහුගේ ඉඩමේ වගාවන්ට දැඩි ලෙස හානි සිදු කර තිබූ බවද ගම්වාසීහු පවසනවා.
මෙම ගම්වාසීන් කියා සිටිනේනේ තම වගා බිම්වලට හානි සිදු කරමින් සැරිසරන මෙම වල් අලි දෙදෙනාද ඉක්මණින් ඇල්ලීමට හෝ ඈත වනාන්තරයකට පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තන් පියවර නොගතහොත් උන් දෙදෙනාටද අනෙක් අලියාට අත්වූ ඉරණමම අත්විය හැකි බවයි.