kandy news web
kandy news web

ඉපැරණි ගල් ගුහාවක් නාඋල – සේරූදණ්ඩාපොලින් හමුවෙයි

තැන තැන විසිරුණු වසර ගනනක් පැරණි වළං කැබළි    ඉන්දික අරුණ කුමාර - නාඋල

0 207

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සේරුදණ්ඩාපොල ග්‍රාම නිළධාරී වසමේ පිහිටි ඓතිහාසික තොරතුරු රැසක් සඟවාගත් ඉපැරණි ගල් ගුහාවක් සොයාගැනීමට පසුගිය 18 වනදා රාජ්‍ය ආයතන කිහිපයක් හා මාධ්‍යවේදීන් පිරිසක් සමත්ව තිබෙනවා.

මහනුවර –  යාපනය ඒ-9 මාර්ගයේ නාඋල නගරය පසුකර දඹුල්ල දෙසින් හමුවන සේරුදණ්ඩාපොල මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගිය විට දකුණු පසින් පිහිටි වන ලැහැබ ආසන්නයෙන් කදු ශිඛරය තුළ මෙම ගල් ගුහාව දක්නට ලැබෙනවා.

AD2

බැලු බැල්මට හඳුනාගත නොහැකි අයුරින් පිහිටි මෙම ගල්ගුහාව පිළිබඳ ප්‍රදේශවාසින් විසින් සොයාගන්නා ලදුව මාධ්‍යවේදීන් දැනුවත් කර පසුව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාඋල අඩවි වන කාර්යාලයේ අඩවි වන නිලධාරී එම්.ජේ.යූ. ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා ඇතුළු ප්‍රදේශවාසින් කිහිපදෙනෙක් ද මෙම චාරිකාව සඳහා එක්ව සිටියා.

කුඩා විවිරයකින් ඇතුළුවිය හැකි මෙම ගල් ගුහාව තුළ දහස් ගනනක් වවුලන් වෙසෙති.

දුෂ්කර වු මාර්ග ඔස්සේ ගුහාව අභ්‍යන්තරයට පැමිණ නිරික්ෂණය කළ පිරිසට වසර ගණනාවක් ඉපැරණි වළං කැබලි ද සොයාගැනීමට හැකිවී තිබෙනවා.

ගුහාව අභ්‍යන්තරය ගවේෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේ ඈත අතීතයේ දි මෙම ගුහාවට නුදුරින් පිහිටි ලෙනදොර ප්‍රදේශයේ ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැවති සටනේ දී වීර පුරන් අප්පු ඇතුළු ජාතික වීරයින් පිරිස වාසභූමී කර ගනිම්න් සිටි බවට සාධක පවතින බවයි.

එම හේතු සැලකිල්ලට ගත් කල මෙම ගුහා පරිශ්‍රය ජාතික විරුවන් විවිධ යුධ කටයුතු හා සැඟවී සීටීමට භාවිත කල බවට සැක පලකල හැකි බව ද හෙතෙම කියා සිටියා.

මෙම ගුහාව පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සිය සංගමය කැමැත්තෙන් පසුවන බව ද ආනන්ද කනහැර ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දැක්වු නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා කියා සිටියේ පියවි ඇසට හඳුනාගත නොහැකි විද්‍යාත්මක සාධක රැසක් මෙම ගුහා අභ්‍යන්තරයේ පැවතිය හැකි බවයි.

විධිමත් ගවේෂණයකින් අනතුරුව රටට ඉපැරණි ඉතිහාසයක් හෙළිකර ගත හැකි බව ද හෙතෙම කියා සිටියා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාඋල අඩවි කාර්යාලයේ අඩවි වන නිලධාරී එම්.ජේ.යූ. ජයකොඩි මහතා කියා සිටියේ ගුහාව තුළින් හමුවු මැටි වළං කොටස සුරක්ෂිතව සිය කාර්යාලයේ පවතින බවත් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා එය අදාල අංශ වෙත ලබාදෙන බවත්ය.

බාහිරට විවිර වු ද්වාර තුනකින් යුතු මෙම ගල් ගුහාවට හොදින් වාතාශ්‍රය ලැබෙන ලෙස පිහිටා තිබීමත් ගුහා අභ්‍යන්තරයේ සිට විහිදි බෙදි ගිය මාර්ග කිහිපයක් පැවතීමත් වෙන්වු කාමර මෙන් ගුහා ද්වාරයෙන් අභ්‍යන්තරය සැකසි තිබීමත් මෙහි රැදි සිටින්නෙකුට මනා ආරක්ෂාවක් පැවති බවට අනුමාන කළ හැකි වනවා.

ස්වභාව ධර්මයා විසින් මවන ලද අපූරු වූ විවිධ රටාවන් දිස්වන ලෙසින් පිහිටි ගල් බිත්ති අඩ අඳුරේ දර්ශනය වීම තුළින් ගුහාවේ පවතින ගුප්ත බව වැඩිකරමින් වසර ගණනාවකට පෙර සිට සැඟව පැවැති මෙම ගුහාව පිළිබඳ කඩිනම් අවධානයක් අදාල බලධාරීන් විසින් යොමු කළ යුතු බව ගවේෂකයින්ගේ අදහස වී තිබෙනවා.

SAMSUNG CAMERA PICTURES

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More