මහනුවර නගරයේ අනුමත ත්‍රී රෝද රථ නැවතුම් ස්ථාන 169 , අනවසර නැවතුම් ස්ථාන 130 ක් !
විධිමත් කිරීමට සැලසුමක් !

මහනුවර නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීම සදහා (10) විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා විසින් කැදවනු ලැබීය. මහනුවර මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, විපක්ෂ නායකවරයා,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරිය, ආණ්ඩුකාර ලේකම්වරයා, මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුලු පාර්ශව රැසක් රැස් කරමින් ආණ්ඩුකාරවරයා විසින් මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු කර තිබුණි. මෙහිදී මහනුවර ත්‍රී රෝද රථ සංගමය විසින් මුහුණදෙන ගැටලු සෘජුවම ආණ්ඩුකාරවරයා සහ වගකිව යුතු අංශවෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුනු අතර, මහනුවර මහ නගර සභාව සහ ත්‍රී රෝද රථ සංගමයේ කරුණු දැක්වීම් පිළිබදව අවධානය යොමු කල ආණ්ඩුකාරවරයා දෙපාර්ශවයටම අදාල වන වැදගත් තීරණ කිහිපයකටම එළඹූනි. මෙහිදි අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා.
ත්‍රී රෝද රථ රියදුරන් සමාජයේ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා. ඔවුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මහනුවර නගරයේ අනුමත ත්‍රී රෝද රථ නැවතුම් ස්ථාන 169 ට අමතරව භාවිතා කරන නැවතුම් ස්ථාන 130 ට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බවට කරුණූ ඉදිරිපත් වුනා. මාසයක් ඇතුලත ඒ සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සහ එම ස්ථාන සම්බන්ධයෙන් ගත් පියවර සම්බන්ධයෙන් කටයුතු යොදා නාගරික කොමසාරිස්වරයා මා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නොයෙක් අපරාධ හා නීතිවිරෝධි කටයුතු වලට ත්‍රී රෝද රථය යොදා ගැනෙන බව අප දන්නවා. ඒ වෙනුවෙන්ද ත්‍රී රෝද රථ සංගම් වලට සමාජ වගකීමක් පැවරෙනවා. එමෙන්ම ජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් ලබා ගැනීම අප පාලනයකට ලක් කල යුතුයි. එයට විධිමත් අය කරගැනීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුයි. ජනතාවට පීඩාවක් වන අයුරින් අධික ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතා කරන ත්‍රී රෝද රථ වලට සහ විවිධ අනවශ්‍ය උපාංශ හා ඡායාරූප භාවිතා කරන්නන්ට විරැද්ධවද ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම වැදගත් වනවා. මෙහිදී නිසි පරිදි ත්‍රී රෝද රථ රියදුරන් බලපත්‍ර ගාස්තු නොගෙවන බවට මහනුවර මහ නගර සභාව විසින් ආණ්ඩුකාරවරයා වෙත දන්වා සිටි අතර, එම අවස්ථාවේදී ත්‍රී රෝද රථ සංගමය විසින් මාස 02ක කාලයක් තුල එම හිග මුදල් ගෙවීමට එකගත්වය පල කළ නමුත්, මාස 03ක කාලයක් ගෙන මැයි මස 10 වැනිදාට ප්‍රථම එම හිග මුදල් ගෙවා නිම කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවයා පවසා සිටියේය.