kandy news web
kandy news web

ගන්නොරුව වෙල්යාය සුරක්ෂිත කර දෙන්නෙයි ඉල්ලීමක්

ගන්නෝරුව ග්‍රාමය සුරැකීමේ සංවිධානය

0 138

2015 පත් වූ යහපාලන ආණ්ඩුව විසින් විනාශයේ අගාධයට ඇද දැමු ඓතිහාසික ගන්නෝරුවේ කුඹුරු යාය රැකගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන කාරුණික ඉල්ලීමයි

 

AD2
 

 

පළමුකොට ගන්නෝරුව පිළිබඳ ඓතිහාසික වැදගත්කමින් යුතු තොරතුරු ද, ඉන්පසු එහි භූගෝලීය මෙන්ම කෘෂිකාර්මික වැදගත්කම හා කෘෂිකාර්මික සංවර්ධන ක්‍රියාවලියේදී ගන්නෝරුවේ දායකත්වය පිළිබඳ තොරතුරු ද, වර්තමානයේ එම ඓතිහාසික ගන්නෝරුව රණබිම විනාශයේ අගාධය කරා ඇද වැටීමට හේතු වූ කරුණු ද, කාරුණික අවධානයට යොමු කිරීම පිණිස පහත සඳහන් කරමු.
 
 
උතුරෙන් හා බස්නාහිරින් දිවිදොස් කන්ද හා බැඳුණු කඳුපන්තියකිනුත්, දකුණින් හා නැගෙනහිරින් මහවැලි ගඟේනුත් සුරක්ෂිත වූ මේ සුන්දර පියස නිම්න කොටගෙන ගලා බස්නා මහවැලි ගඟ ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් වාර්ෂිකව ගඟ පිටාර ගැලීම නිසා ඉතාමත් සරුසාර කෘෂිකාර්මික භූමියක් වූයෙන් දුරාතීතයේ පටන් මෙම ගම මිනිසුන් විසින් ගොවිතැන් බත් කරගෙන ජීවත් වූ ජනාවාසයක් විය.
 
 
පෙර රජ දවස ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන්ද වැදගත් වූ උඩරට රාජ්‍යයේ ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය කරගත් ඓතිහාසික ගන්නෝරුව රණබිම ඉන්පසුව ද ඉතා වැදගත් වූ වෙනස්වීම් රැසකට භාජනය වී ඇත. පෘතුගීසි සහ ඕලන්ද ආක්‍රමණවලින් පසු 1815 දී මෙරට ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු විය. 1824 දෙවැනි වරටත් ලංකේශ්වර ධුරයට පත් සර් එඩ්වඩ් බාන්ස් විසින් මෙම ඓතිහාසික රමණීය මෙන්ම සරුසාර ගන්නෝරු තැන්නේ අගය වටහාගෙන එම භූමියෙන් අක්කර 500ක් තමන් සතු කරගෙන ඊට රජ්ජුරුවන්ගේ වත්ත යනුවෙන් නම් කොට තම වාසය සඳහා යොදා ගන්නා ලදී. මෙම සරුසාර බිමෙන් විපුල ඵල ලැබූ ආන්ඩුකාවරයා මෙම සරුසාර බිමේ ඔහු විසින් කුරුඳු, කොකෝවා, කරදමුංගු, පුවක් වැනි බෝගයන් ද ගං ඉවුරේ සත්ව ආහාර සඳහා තණකොළ ද වගා කර ඇත. 
 
 
ලංකේශ්වර සර් එඩ්වඩ් බාන්ස්ගේ සේවා කාලයෙන් පසු මෙම භූමියට හිමිකම් කීමට කිසිවකු ඉදිරිපත් නොවූයේ එම භූමිය ඇතුළු අවට සෙසු බිම් කොටස් ද රජය සතු වීමයි. මෙම අක්කර 1996ක් වූ මුළු බිම් ප්‍රමාණයම ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්ම අධ්‍යක්‍ෂක වීමේ භාග්‍යය ලත්  ආර්. එන්. ලයින් මහතා විසින් කෘෂිකර්ම පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා ලදී. එවකට මෙම ගොවිපලේ පාලකයා වූයේ ඩී. එස්. කොලට් මහතාය. වර්ෂ 1915 දී කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ වූ අතර 1916 දී කෘෂිකර්ම අධ්‍යක්ෂක ධූරයට පත් ස්ටොක්ඩේල් මහතා විසින් වාර්ෂිකව මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පෝෂිත වූ ගන්නෝරුව රණබිම නම් වූ මෙම මනස්කාන්ත ගංගා නිම්නය සියලු අංගෝපාංගවලින් සමන්විත ආදර්ශ ගොවි පළක් බවට පත්කරන ලදී. මෙම අංග සම්පූර්ණ බව තවදුරටත් තහවුරු කෙරෙමින් 1939 දී ගැටඹේ පිහිටි කෘෂිකර්ම විද්‍යාලයේ ද ගන්නොරුවට ගෙන එන ලදී. 
 
 
ලෝකයේ ඕනෑම රටක වගා කරන අති මහත් බහුතරයක් බෝග ඉතා සාර්ථකව වගා කිරිමට තරම් සුදුසු වූ භූගෝලීය පිහිටීමක් ද, දේශගුණික හා පාරිසරික සම්පත්වලින් ද, අනුව මෙම භූමිය අන් කවර කාර්යයකටත් වඩා යෝග්‍ය වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා බව නුවණින් අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.
ඕස්ට්‍රේලියානු රජය මගින් ශ්‍රී ලංකාවට ණයට දෙන ලද තිරිඟු පිටි වල ණය කපා හැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනය කරලීමේ පර්යේෂණ කළ හැකි පර්යේෂණායතනයක් පිහිටුවන ලෙස ගන්නා ලද රාජ්‍යතාන්ත්‍රික තීරණය අනුව 1960 දශකයේ මධ්‍යම කෘෂිකර්ම පර්යේෂණායතනය මෙම භූමියේ ඉදි කරන ලද්දේ ද කෘෂිකාර්මික පර්යේෂණ කටයුතු සඳහා වඩාත් උචිත භූමි සම්පත මෙහි වූ නිසාම බව අවධාරණයෙන් ම සඳහන් කළ යුතුව ඇත. එදා උඩරට රාජ්‍යයේ ජය භූමියක් වූ ගන්නොරුව මෙදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හදවත බඳු විය.
 
 
පෙර රජ දවස පටන් ඉංග්‍රීසි පාලනය දක්වා ද ඉන්පසු මෑතක් වනතුරුත් වසර හයසියකට අධික කාලයක් තිස්සේ සෑම පාලකයෙකු විසින් ම ගන්නෝරුව ආදර්ශ ගොවිපළ ගොවි බිමක් වශයෙන් ඉතා ආදරයෙන් ආරක්ෂා කළ අතර එහි ජාතික කෘෂි සංවර්ධන ක්‍රියාවලිය මුලු මහත් ජාතියටම විපුල ඵල ලැබිය හැකි පහත දැක්වෙන ආයතන පිහිටුවාලූයේ ද තම පර්යේෂණ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය භූමි සම්පත මෙහිම වන නිසාය.
1. කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය
2. දකුණු ආසියාවේ පිහිටි එකම ශාක ජාන සම්පත් මධ්‍යස්ථානය
3. රටේ ජීවනාලිය වූ කෘෂිකර්මාන්තයට දෑත් හුරු කරවා නව කෘෂි තාක්ෂණික අවබෝධය ලබා දෙන තක්සලාවක් බඳු සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය
4. ශ්‍රී ලංකාවේ එකම කෘෂිකාර්මික කෞතුකාගාරය
5. ජාත්‍යාන්තර බීජ පර්යේෂණ සංගමයේ සාමාජිකත්වය ලැබූ මධ්‍යම බීජ පර්යේෂණාගාරය
6. බීජ සහතික කිරීමේ හා පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය
7. බීජ සහතික කිරීමේ සේවය
8. පැළෑටි සංරක්ෂණ සේවය
9. උද්‍යාන බෝග පර්යේෂණ ගොවිපල
10. ඌනභාවිත පළතුරු බෝග සංරක්ෂණ ඒකකය
එකී ආයතන වල ඵලදායි ක්‍රියාකාරිත්වය සඳහා හුදෙක් ගොඩනැගිලි හා පර්යේෂණාගාර පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. එහි ක්ෂේත්‍ර පර්යේෂණ කටයුතු සඳහා අනිවාර්යයෙන්ම භූමියක්ද තිබිය යුතුය. එනිසා මෙහි ඉහත සඳහන් කරන ලද පරිදි ගන්නෝරුව කෘෂිකර්ම සංකීර්ණයේ බිම් කොටස් කිසිදු වග විභාගයකින් තොරව කෘෂිකාර්මික නොවන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීම මුළු මහත් ජාතියටම කරන අපරාධයක් වනු ඇත.
 
 
මළ චක්‍රීය කරන ව්‍යාපෘතියකට ගන්නෝරුව ගොවිබිම ගැනීමට සූදානම් වූ විට ද අපගේ කරුණු පහදාදීම් මගින් ව්‍යාපෘතිය වෙනත් තැනකට යොමු කර ගැනීමට පුළුවන් විය. එම අවස්ථාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙම ඉඩම් ගොවිතැන් නොවන සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම නුසුදුසු බව 26.01.2005 දින වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. 
 
 
මෙවන් කෘෂිකාර්මික වැදගත්කමින් යුත් ගන්නෝරුව රණබිම සම්බන්ධයෙන් යම් යම් අය විසින් මෑත භාගයේ දී ගන්නා ලද වැරදි තීරණයන් නිසා ඓතිහාසික, සංස්කෘතික හා කෘෂිකාර්මික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මෙම ජාතික සම්පතේ සෞභාග්‍යයට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇති බව මහත්වූ කම්පා සිතින් පළ කළ යුතුව ඇත. ගන්නෝරුව රණබිමට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හදවතට, රමණීය ගොවිබිමට, මෑතකදී තවත් දුර්භාග්‍ය කාලයක් උදා වන ලකුණු පහළව ඇත. එනම් 2018 වසරේදී විසල් මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය නමින් පරිසර හිතකාමී නොවන කටයුත්තකට ගන්නෝරුව කුඹුරු යාය අත්පත්කරගැනීමට යාමයි. 
 
පසුගිය රජයේ අර්බුදකාරී ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක විසින් එම සැලසුම දියත් කිරීමට සැලසුම් කරන ලද්දේ ගන්නෝරුවේ හදවත බඳු කුඹුරු යාය ගොඩකිරිම මගිනි. ඔහු යටතේ පැවති නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම විනාශකාරී ව්‍යාපෘතිය දියත් කරන ලදී. 
 
මෙම කුඹුරු ඉඩම් අත්පත් කරගැනීමට මෙතෙක් සිදු වූ ක්‍රියා දාමය සැකෙවින් පහත සඳහන් කරමු.
 
2018. 08.16  දින කුඹුරු මැනුම් කටයුතු සිදුකරන බව පවසා කුඹුරට එන ලෙස ගන්නෝරුව නැගෙනහිර ගොවිජන පර්යේෂණ සහකාර විසින් වාචිකව පවසන ලදී. එදින පැමිණි කුඹුරු හිමියන් ගෙන් ලිඛිතව දැනුම් දී නොමැති බැවින් මැනුම් කටයුතු සිදු කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කර මැනුම් කටයුතු සිදුනොකරන ලෙස දැනුම් දෙන ලදී. මැනුම් කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය ලේකම් ඉන්දික තුෂාර පියදාස මහතා විසින් මෙම කුඹුරු, පුරන් වූ කුඹුරු ඉඩමක් යයි සාවද්‍ය ලෙස වාර්තාවක් දී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මැනුම් සිදු කිරීමට ඉල්ලීමක් කරන ලදී.
 
ඒ පිළිබඳව පේරාදෙණියේ ඒදඬුවාව ගොවිඡන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීනිය වන එච්. ඒ. ඩී. අසරංගනී මහත්මියගෙන් විමසූ විට ඇය ලිඛිතව (2019.05.03 දින) පැවසූයේ මෙම ඉඩම් මැනීම සඳහා කෘෂි පර්යේෂණ සහකාර නිලධාරී සද්ධාතිස්ස මහතා සම්බන්ධ වුවත් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මැදිහත්වීමක් සිදු නොවුනු බවයි.
 
ඉන්පසු 2018.08.23 දින නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ එන්. ඒ. එස්. එන්. නිශ්ශංක මහතා විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කුඹුරු හිමියන් ගන්නෝරුව රජ මහා විහාරය වෙත කැඳවා රැස්වීමක් පැවැත්වීය. එහිදී කුඹුරු හිමියන් මෙම වගා කරන කුඹුරු පවරා ගන්නේ කුමන ව්‍යාපෘතිය සඳහා ද කියා විස්තර කරන ලෙස ඉල්ලීමක් කරන ලදී. එය විස්තර කිරීමට එතුමා අපොහොසත් විය.
 
2018.09.12 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් කුඹුරු හිමියන් මහනුවර නාගරික සංවර්ධන අධිකාරියට කැඳවන ලදී. එහිදී ද කුඹුරු හිමියන් අසා සතියේ දෙකන්නය වගා කරන දැනටමත් ගොයම් කපන මෙම කුඹුරු යාය ගොඩ කර සිදුකරන ව්‍යාපෘතිය කුමක්ද කියා පැහැදිලි කරන ලෙසයි. මෙම අවස්ථා දෙකේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමාට සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා දීමට නොහැකි විය. 
හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකගේ දේශපාලන පක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක එහිදී පවසන ලද්දේ ක්‍රීඩා පිට්ටනියක්, තාක්ෂණික විද්‍යාලයක්, ප්‍රධාන පෙළේ පාසල් ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි සහ වෙනත් හඳුනා නොගත් ඉදිකිරීම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි.
එහෙත් ලිඛිතව කිසිවක් අප හට ලබා දුන්නේ නැත.
 
මේ අතර සිදුවෙමින් පවතින විනාශය සම්බන්ධයෙන් නැවත වතාවක් අප විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමා සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම් තුමා වෙත විරෝධය පළකර ලිපි යොමු කරත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ඔවුන්  අප වෙත දුන්නේ නැත.
 
ඒ වෙනුවට සිදුවූයේ ඉඩම් හිමියන්ගේ සහ ගොවියන්ගේ සහභාගිත්වයකින් තොරව ඉඩම් මැනීම සිදු කිරීමයි. මේ සඳහා ඔවුනට උදව් කිරීමට ඉඩම් හිමියන් දෙදෙනකු මුලා කර යොදා ගන්නා ලදී. 
 
2018.10.08 දින  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවීමට යන විනාශය පිළිබඳව දැනුවත් කර එය නවතන ලෙස ලිපියක් යොමුකරත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.  (ඇමිණුම 6)
 
එකල කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි මහින්ද අමරවීර මහතා වෙත අප විසින් දෙකන්නය වගා කරන අපගේ කුඹුරු යාය මෙලෙස ගොඩ කිරීමට යන බව දන්වා සිටින ලදී. එතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් නිලධාරීන් කල්මරමින් එම පරීක්ෂණ ඉදිරියට ගෙන යෑම සිදු නොවීය.
 
ඉතා සශ්‍රීකව අස්වද්දන ලද කුඹුරු යාය ගොඩ කර ගොඩනැගිලි ඉදිකිරිම ගන්නොරුව භූමියට කිසිසේත්ම නොගැලපේ. එයට හේතුව නම් මෙම කුඹුරු යාය පිහිටා ඇත්තේ ගන්නෝරුව කෘෂිකාර්මික ගොවිබිම, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සහ ගන්නෝරුව රක්ෂිතයට (N. B. Google map attached) යාබදව පාරිසරිකව ඉතා වැදගත් ස්ථානයක වීමයි.
 
මීට ඉහතදී අතීතයේදී පවා මෙම ඉඩම් ගොඩ කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම නුසුදුසු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා 26.01.2005 දින ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වෙයි. මෙම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට පෙර අඩුම තරමෙන් මෙහි භූමිය ගොඩනැගිලි ඉදිකිරීම වැනි කටයුත්තකට සුදුසුද කියා පාංශු පරීක්ෂාවක් (soil test) පවා සිදුකර නොමැත.
 
මෙම කුඹුරු යායේ ඇති වටිනාකම වී අස්වැන්න නෙලීමට පමණක් සීමා නොවේ. ගන්නෝරුව ග්‍රාමයේ ජලය බැසයාමට ඇති එකම භූමිය මෙම කුඹුරු යායයි. මෙම බිම යටින් මහවැලි ගඟට විශාල දෝනාවක් තිබුණු බව අතීතයේ සඳහන් වී ඇත. භූමියේ ඇති මිලියන ගණනක් කුඩා දිය පහරවල් මගින් මහවැලි ගඟට ජලය බැස යාම සිදුවෙයි. එම නිසා මෙම කුඹුරු යාය අවහිර කොට ජලය බැස යාම අවහිර කොට ගොඩනැගිලි සෑදීම මගින් වැසි වැටෙන විට ජල ගැලීම් පවා සිදුවීමට හැකි අතර එහි ඉදි කරන ගොඩනැගිලි වල ස්ථායීතාවය ද සුරක්ෂිත නොවේ.
 
දැනට ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් ද 29.10.2019 දින හිටපු ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කර වන්දි ලබාදීම සඳහා නිලධාරීන් කටයුතු කිරීම දක්වා මෙම විනාශය ඉතා ආසන්නයට පැමිණ ඇත. (ඇමිණුම 14)
 
 
අප ඉල්ලා සිටින්නේ සංවර්ධනය සිදුකරන විට පරිසරය සුරක්ෂිත කරමින් එම කටයුත්ත සිදුකරන ලෙසයි. උදාහරණයක් ලෙස මෙම භූමිය කාබනික ගොවිතැනට ඉතා සුදුසු ස්ථානයක් වන අතර ගන්නෝරුව ගොවිපල අසල පිහිටි නිසාත්, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සහ ගන්නෝරුව රක්ෂිතය පිහිටි නිසාත් කෘෂි සංචාරක කර්මාන්තය (Agro tourism) සඳහා ඉතා සුදුසු වාතාවරණයක් ගන්නෝරුව ගමට ලැබී ඇත.
 
කෘෂි සංචාරක කර්මාන්තය (Agro tourism) වැනි විශේෂිත වූ සහ පරිසර හිතකාමී ක්‍රමවේදයක් මගින් පරිසරය ද රැකගෙන රටට ආදායම් උපදවන මං සොයාගත හැක. දැනට හිඟුරක්ගොඩ එවැනි සංචාරක හෝටලයක් CIC සමාගම පෞද්ගලිකව පවත්වාගෙන යයි. ගන්නොරුවේ පිහිටි මෙම කුඹුරු යායේ ඇති විශේෂත්වය නම් මහනුවර නගරයට ඉතාම සමීපව මෙවැනි ග්‍රාමීය පරිසරයක් පිහිටීම නිසා සංචාරකයන්ට ඉතා පහසුවෙන් එම පරිසරයට ළඟා විය හැකි වීමයි. මහනුවර නගරය ලංකාවේ ඇති සංචාරකයන් ආකර්ශනය කරගන්නා විශේෂිත ස්ථානයක් වන නිසා එය වඩාත් පහසුවෙන් කළ හැකි වෙයි.

 

කුඩා බිම් කඩක වගා කර වැඩි අස්වැන්නක් ලබා ගන්නා ක්‍රම ඊශ්‍රායලය වැනි දියුණු රටවල භාවිතා කරයි. එවැනි වගාවන් සඳහා පර්යේෂණ සිදුකිරීම සඳහා ද මෙම බිම් කඩ ඉතා වාසිදායක ලෙස යොදාගත හැකියි.

 

 

දැනට ඇති විශාල ප්‍රශ්නයක් වන සහල්වල ඇති බැරලෝහ ප්‍රමාණය වැඩි වීම රජරට කුඹුරු වල සිදුකරන වගාවන්ගේ ඇති ගැටලුවකි. ලංකාවේම විවිධ ප්‍රදේශ වලින් ලබාගන්නා සහල් නියැදි පරික්ෂා කල විට තහවුරු වී ඇත්තේ මහනුවර පලාතේ වගා කරන සහල් වල බැර ලෝහ ප්‍රමාණය ආරක්ෂිත මට්ටමක පවතින බවයි. එම නිසා ගන්නෝරුව කුඹුරු යාය ඉතා සුවිශේෂී වෙයි. (ඇමිණුම 16)

 

 
 
දැනටමත් මෙම බිම්කඩෙහි ඇතැම් කුඹුරු කෘමි නාශක සහ වල් නාශක යොදා නොගෙන ගොයම් පැළ සිටුවීම මගින් වස විස රහිත ගොවිතැනට යොමු වී ඇත. 
 
මෙහි කුඹුරු කර ජීවත් වන අහිංසක ජනතාවක් සිටින අතර ගැමියන්ගේ පාරම්පරික කෘෂිකර්මාන්තය බිඳ වැටෙන අතර ඔවුන්ගේ ජීවනෝපාය ද නැතිවී යයි.
 
මහනුවර නගරය ආසන්නයේ ඇති පරිසර දුෂණය (වායු, ජල සහ ගොඩබිම දූෂණය) අවම ග්‍රාමය ගන්නෝරුව ගොවිබිමයි. එය කාර්මීකරණය කිරීමෙන් අයහපතක් සිදුවේ. 
 
මෙම කුඹුරු යායේ ඇති ජෛවවිවිධත්වය (Biodiversity) ඉතා ඉහළයි. එයට හේතුව නම් මෙම කුඹුරු වටේටම ඇත්තේ සදාහරිත පරිසරයකි. ගන්නෝරුව රක්ෂිතය, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, ගන්නෝරුව කෘෂි පර්යේෂණායතනය සහ මහවැලි ගඟ කුඹුරු යාය අසල පිහිටීම නිසා ජෛවවිවිධත්වය ආරක්ෂාවේ. 
 
මොවුන්ට මෙම කාර්යය කිරීමට වෙනත් සුදුසු තැනක් නොමැත්තේ නොවේ. පුරාණ රජ දරුවන් තම දිවි දෙවැනි කොට සැලකූ ආගම දහම වෙනුවෙන් වෙහෙර විහාර දේවාල කෝවිල් තැනීමටවත් ගොවිබිම් යොදා ගත්තේ නැත. ඔවුන් ඒ සඳහා ගිරිශිඛර කඳුමුදුන් තෝරා ගන්නා ලද්දේ ජාතියේ පැවැත්මට ගොවි බිමේ ඇති අගය වටහා ගත් නිසාම බව නොරහසකි. නාගරික සංවර්ධන අධිකාරියේ යෝජිත ව්‍යාපෘති සඳහා මෙම කුඹුරු ඉඩම් තෝරා නොගෙන පල්ලේකැලේ කර්මාන්ත නගරයේ ඉඩම් සොයා ගත හැකි බැවින් එම කාර්යය සඳහා එම ප්‍රදේශයේ සුදුසු ස්ථානයක් තෝරා ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 
 
එම නිසා අවසාන වශයෙන් අප ඉල්ලා සිටින්නේ මෙම කුඹුරුයාය ගොඩ කිරීම සඳහා පසුගිය රජය මගින් කරන ලද සැලසුම අත් හිටවන ලෙසත්, කෘෂි සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකාර්මික පර්යේෂණ අත්හදා බැලීම් සඳහා මෙම කුඹුරුයාය භාවිතා කර රටට ආදායම් උපදවන සහ පරිසරයට හිතකාමී වැඩපිළිවෙලකට යොමු වන ලෙසයි.
 
අතීතයේදී අප මුතුන්මිත්තන් විසින් තම ජීවිත පූජාවෙන් රැකගත් මෙම ජයභූමිය ඉංග්‍රීසි පාලන සමයේදී ද කෘෂිකාර්මික චිර ජීවනය සඳහා ම පමණක් යොදා ගනිමින් සුරක්ෂිත කොට අප වෙත භාරදී ඇත. එබැවින් එය මතු පරපුරට ද තම මාතෘ භූමියේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා හා තම දස්කම් විස්කම් පෑමට හැකි වන පරිදි සුරක්ෂිත කොට රැකදීම අපගේ පරම යුතුකම වන්නේය. 
 
ඓතිහාසික ගන්නෝරුව ග්‍රාමය සුරැකීමේ සංවිධානය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More