ජනාධිපති ගෝඨාභය මහතා දන්ත ධාතූන් වහන්සේ වැඳපුදාගනී

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේදී ජනාධිපතිවරයා පිළිගන්නා ලදී. දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ පල්ලේමාලේ විහාරයට පැමිණ එහි දී ආගමික වතාවත්වල නිරත වූහ.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා එහිදී එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සුහඳ පිළිසදරක නිරත වූහ.
අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක පිළිසඳරේ නිරත වූහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, අස්ගිරි පාර්ශව කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම මංගල හිමි සහ බදුලු මුතියංගණ රජමහ විහාර භාරකාර පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් එහිදී පිරිත් සජ්ඣායනා කළ අතර අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් ජනාධිපතිවරයාට සෙත්පතමින් පිරිත් නූලක් ගැට ගසා ආශිර්වාද පළ කළහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ බැහැදැකීම සඳහා මැණික්හින්න, හුරීකඩුව විද්‍යාසාර පිරිවෙනට පැමිණි ජනාධිපතිවරයා ඉන් අනතුරුව අස්ගිරි මහා පිරිවෙණට පැමිණ එහි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ පිළිසඳරක නිරත වූහ.
අස්ගිරි මහ පිරිවෙනේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කළ ජනාධිපතිවරයා අස්ගිරි මහ පිරිවෙන සාමනේර භික්ෂු හිමිපාණන් වහන්සේ සමඟ ඡායාරූප වලට ද එහිදී පෙනී සිටියහ.
අද වන විට ජනාධිපතිවරයාට උඩුගම් බලා පීනන තත්ත්වයක් උදාවී ඇති බවත් ඒ සඳහා එතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවන බව පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් සදහන් කළහ.
මෙම අවස්ථාවන් සඳහා අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී.දිසානායක, ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදුනී කරුණාරත්න මහත්මිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.