kandy news web
kandy news web

නැණ ගුණ දෙකෙන්ම පොහොසත් දරුවන් දැයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයක්

මහනුවර ශ්‍රී පලිපාන චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කරමින් අගමැති මහින්ද කියයි.

0 33

ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා නැණ මෙන්ම ගුණද වර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු නමුත් අද මෙරට පාසැල් පද්ධතිය තුළින් බිහිවන බොහෝ දරුවන් තුළ දකින්නට ලැබෙන්නේ නැණ පමණක් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නැණ නුවණින් කොපමණ ඉහළ සිටියත් ගුණ නොමැති දරුවන් ගෙන් සමාජයට අත්වන සෙතක් නොමැති බවත් මේ නිසා ගුණ නැණ දෙකින්ම පොහොසත් දරුවන් සමාජයට දායාද කිරීම කාලෝචිත අවශ්‍යාතවක්  ඒ මහතා කීය.

AD2

මහනුවර කටුගස්තොට ශ්‍රී පලිපාන චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (06) අගමැතිවරයා මේබව පැවසුවේය.

මෙරට අධ්‍යාපනය ඈත අතීතයේදී පන්සල හා බද්ධවී තිබුණු බවත් අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයත් සමඟ ක්‍රමයෙන් මේ සියල්ල වෙනස්ව ගොස් පන්සලෙන් අධ්‍යාපනය ඈත්ව ගොස් පෞද්ගලික පාසැල් ඔස්සේ වෙනම අධ්‍යාපන ක්‍රමයක් බිහිවූ බවත් රාජපක්ෂ මහතා කීය.

ආගම ඉගැන්වීමට පාසැල් වල කාලය වෙන් කරනු ලබන්නේ සතියකට විනාඩි හතළිහ බැගින් කාල පරිච්ඡේද දෙකක් පමණක් බවත් දරුවෙකුට ගුණ යහපත් කම් කියාදෙන ආගම ඉගැන් වීමට මෙයට වඩා කාලයක් පාසැල් තුළ වෙන් කළ යුතු බවත් කී ඒ මහතා පටු අදහස් ඇති පිරිස් සමාජයට බිහි වන්නේ මේ නිසා යැයිද අවධාරණය කළේය.

ළමුන් දහම ගැන නොසිතා අධ්‍යාපනයේදී ඉලක්ක කර ගන්නේ දැනුම පිළිබඳව පමණක් බවත් ඒ ඔස්සේ තරඟයකට මෙන් අධ්‍යාපනය හඹා ගොස් රැකියාවක් ලබාගෙන මුදල් හරි හම්බ කිරීම ඔවුන්ගේ මූලික අරමුණ බවත් කී අගමැතිවරයා මුදල් ඉපැයීමේ අපේක්ෂාවෙන් දරුවන් මුදා ගැනීමට ඉවහල් යන විහාරස්ථාන කේන්ද්‍ර කරගත් පාසැල් මේ ආකාරයට බිහිවීම සතුටට කරුණක් බවද අවධාරණය කළේය.

මෙමඟින් එදා විහාරස්ථාන ඇසුරු කර ගනිමින් ක්‍රියාත්මත වූ ගුණ නැණ දෙකෙහිම ළමුන් පිහිටුවන අධ්‍යාපනයට පසුබිම සැකසෙන බවද හෙතෙම අවධාරණය කළේය.

අස්ගිරි පාර්ශවයේ කීර්තිමත් ගුණවත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක්වූ පලීපාන ශ්‍රී චන්දානන්ද නාහිමි නමින් මෙම බාලිකා විදුහල ආරම්භ වීම ඉතා වැදගත් බවද ඒ මහතා කීය.

ලෝකය ජය ගන්න නම් අධ්‍යාපනය තුළින් දමනය වූ අයෙකු බිහි කළ යුතු බවත් විද්‍යාගාර,පිහිනුම් තටාක පමණක් නොව ගුණාත්මක වෙනසක් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා පැවසුවේය.

රට පුරා අලුතින් ජාතික පාසැල් දහසක් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත් ඒ යටතේ මහනුවරට ජාතික පාසැල් සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂික පාසැලක් ලබා දීමට නව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීම ඉතා වැදගත් බැවින් මෙම වැඩපිළිවෙළ ඔස්සේ එම අවශ්‍යතාව සපිරෙන බවද ඒ මහතා කීය.

දෙමව්පියන් තමන්ගේ පාසැල් යන දරුවා ගැන විශේෂ සොයා බැලීමක් කළ යුතු බවත් දෙමව්පියන් දරුවන් ගැන කුඩා කාලයේදී කරන සොයා බැලීම පසුකාලීනව අත් හරින බවත් කී ඒ මහතා කුඩා කාලයේදී දෙමව්පියන් දරුවාව පාසැලට ගෙන ඒම,පාසල අතර රැඳී සිටීම,පාසැල හමාරවූ පසු නැවත නිවසට කැඳවා ගෙන යෑම වැනි සියලු දේ කළත් පසුව ඒවා අත් හරින බවද අවධාරණය කළේය.

ළමයා ක්‍රමයෙන් වැඩෙත්දී දෙමව්පියන් දරුවාට අවශ්‍යය ලෙස නිදහසේ හැසිරීමට ඉඩදී ඉවත් වන බවත් අද පවතින තත්ත්වය අනුව දෙමව්පියන් දරුවා කුඩා කාලයේදීටත් වඩා ඉහළ පන්ති වලට යනවිට සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

දරුවා ඉහළ පන්ති වලට යනවිට අප අත්හැරියොත් ඒ දරුවා අපෙන් ගිලිහී යාමේ අවධානමක් තිබෙන බවත් එම අවධානමට ඉඩක් නොතැබීම දෙමව්පියන්ගේ වගකීම බවත් අගමැතිවරයා පැවසුවේය.

රුවැන්වැලි සෑ පුදබිම තෝරා ගනිමින් ජනපතිවරයාගේත් නව ආණ්ඩුවේත් ප්‍රතිපත්තිය බොහොම පැහැදිලිව රටට ඉදිරිපත් කර තිබෙන බවත් පසුගියදා ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතමින්ද අදහස් දැක්වීමක් කළ බවත් කී මහින්ද රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුව තුළ දැනට ආණ්ඩු පක්ෂයට හිමිව තිබෙන්නේ අඩු ආසන සංඛ්‍යාවක් බවද පැවසුවේය.

රජයක් ලෙස වැඩකටයුතු කරමින් සිටින්නේ එවැනි පසුබිමක බවත් ඊළඟ අවස්ථාවේදී රජයක් ලෙස ඉතා සීඝ්‍රයෙන් වැඩ කටයුතු සිදු කිරීමට සූදානම් බවත් හෙතෙම කීය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමි අදහස් දක්වමින් අද පාසැල් උසස්ද පහත්ද කියා වර්ග කෙරෙන ප්‍රධාන මිණුම් දඬු වන්නේ පාසැලට ක්‍රීඩා පිිටියක්,පිහිනුම් තටාකයක් තිබෙනවාද යන කරුණු බවත් චන්දානන්ද විද්‍යාලයට පිට්ටනි හෝ ජල තටාක නොතිබුනාට මෙහි අන්තර්ගතය අභිමානවත් බවත් පැවසූහ.

දරුවා වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවෙක් වෙලා හොඳ පෝසතෙක් වුනත් අම්මා තාත්තා සිටින්නේ අඳුරේ බවත් මේ නිසා මෙම පාසැලේ අරමුණ ගුණවත් නැණවත් මෙන්ම බෝසත් දරුවන් සමාජයට දායද කිරීම බවත් උන්වහන්සේ කීහ.

අද සමාජයේ හොඳින් අධ්‍යාපනය ලැබ උසස් රැකියා කරන පෝසත් දරුවන් ඕනෑ තරම් සිටින බවත් රටට හිඟ බෝසත් දරුවන් බවත් කී අනුනාහිමියෝ ධර්මයෙන් තොරව අධ්‍යාපනයට යොමු වීමෙන් බිහි වන්නේ වල් සතුන් බවද අවධාරණය කළහ.

අද දරුවන් සතුව දැනුම තිබුනත් ආකල්ප නොමැති බවත් සිරිත් තිබුණට අචාර ධර්ම නොමැති බවත් ආගම තිබුණට දහම නොමැති බවත් උපාලි නාහිමියෝ පැවසූහ.

රටේ ගුණාත්මක උගතුන්ගේ බරපතල හිඟයක් තිබෙන බවත් තානාපති සේවයට යන බොහෝ අය කරන්නේ දරුවන්ට ඒ රටවල අධ්‍යාපනය ලබා දීම හෝ තමන්ගේ ආතතිය අඩුකර ගැනීම පිණිස විවේකීව සිටීම බවත් උන්වහන්සේ කීහ.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් අදහස් දක්වමින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ගාමක බලවේගය සිංහල මහ ජනතාව බවත් එම ජනප්‍රජාව තුළ ප්‍රමුඛතාව බෞද්ධ ජනතාවට හිමි වෙත්දී කිතුණු ජන කොටසද් ඒහා සමඟ බැඳී සිටින බවත් ප්‍රකාශ කළහ.

හින්දු හා ඉස්ලාම් ජාතික ජන කොටස් මෙම මූලික ස්වභාවයන් නිවැරදි ලෙස හඳුනා ගෙන කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ කීහ.

ශ්‍රීපලිපාන චන්දානන්ද බාලක හා බාලිකා විද්‍යාලයන්හි කලමණාකාර අධ්‍යක්ෂ,අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික,මහෝපාධ්‍යාය ගොඩගම මංගල නාහිමියෝ කතා කරමින් පසුගිය කාලයේදී සංහිඳියා සංකල්පය මුල්කර ගනිමින් සිංහල භාෂාවට,බෞද්ධාගමට හා ඉතිහාස විෂයට අවර ගනයේ සැලකුම් ලැබුණු බවත් ඒ ගැන සොයා බැලීම පිණිස කමිටුවක් පත්කරන ලෙස තමන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කීහ.

විෂය නිර්දේශ පිළිබඳ විධිමත් සමාලෝචනයක් කිරීමේ අවශ්‍යතාව තිබෙන බවද මංගල නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ මහනායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම,අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී,අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්නානන්ද නාහිමි ඇතුළු මහ සංඝරත්නයද මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍ය ලොහාන් රත්වත්ත,ප්‍රවාහන රාජ්‍යය ඇමැති දිළුමු අමුණුගම,සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුද සහභාගි වූහ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More