අපේ ඇතැම් නායකයන් ඉන්දියාවට ගිහින් කියන්නේ එකක් මෙහෙදි කරන්නේ තව එකක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්තව එක්සත් ජාතික පෙරමුණක් වශයෙන් ඉදිරි මහ මැතිවරණයේදී විශාල සන්ධානයකින් යුතුව මුහුණ දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ඒ මහතා පවසයි.
රට තුළ වෙනසක් ඇති කළ හැකි අයුරින් වර්ෂ දෙදහස් පහළොවේ දී ආරම්භ කළ අයුරින් ම ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කරන බව අද (04) මහනුවරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අයිවා පැරා මෙඩිකල් පුද්ගලික හෙද විදුහලේ පුහුණුව ලැබූ හෙද තරුණ තරුණියන් විසිර යාමේ සහ ඔවුන් සඳහා පුහුණු සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.
අද වැලි සහ පස් පමණක් නොව රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය විමසීම සඳහා බුද්ධි අංශ සහ හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිවිල් අයුරින් සේවය කරනවා. රාජ්‍ය නිලධාරීන් බිය කොට ඔවුන්ගෙන් වැඩ ගැනීමට හැකි යැයි විශ්වාස කිරීම අසාර්ථක දැක්මක්. එම ක්‍රමය තුළ වෙනසක් ඇතිවිය යුතුයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයක් සිදු නොවන්නේ නම් රාජ්‍ය සේවකයන්ට පවතින ගැටලු පිළිබඳව සොයා බැලිය යුතුයි.
පස් වැලි වලට පමණක් නොව සියළුම රාජ්‍ය ආයතන වල විශ්‍රාමික යුධ හමුදා නිලධාරීන් යොදවන ප්‍රවණතාවයක් ද අද දක්නට ලැබෙනවා. ප්රජාතන්ත්රවාදී රටකට එය සුදුසු ලක්ෂණයක් යැයි අප විශ්වාස කරන්නේ නැහැ.
හුදකලාව දියුණු රටක් බවට පත්වෙන්නට ශ්‍රී ලංකාවට අසීරුයි. භූගෝලීය සහ ගෝලීයකරණය හමුවේ රටක් දියුණු වීමට නම් සෙසු රටවල් සමඟ සුහදව කටයුතු කළ යුතුයි. millennium challenge corporation ගිවිසුමේ වාසි දායක තත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එමෙන්ම අවාසිදායක තත්වයන් ඉවත් කළ යුතුයි.
නමුත් බලයට පත් වූ පසු එම ගිවිසුම ඉරා දමා ප්‍රතික්ෂේප කරනවා යැයි කියූ රජය අද වන විට එම ගිවිසුම පිළිබඳව බිත්ති වල තරුණයන් මෑතකදී ඇදි සිතුවම් පවා තීන්ත වේලීමට මත්තෙන් මකාදමන තත්ත්වයක් තිබෙනවා.
රටේ නායකයන් ඉන්දියාවට ගිහිල්ලා කියන දේ නොවෙයි ලංකාවේදී කියන්නේ. රටේ නිවැරදි ඍජු විදේශ ප්‍රතිපත්තියක් පැවතිය යුතුයි. නොබැඳි ප්රතිපත්තියක පවතින ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ විනිවිදභාවයෙන් ගත යුතු කටයුතු කළ යුතු යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර කණ්ඩායම් නායක ගයාන් ජානක හේරත් මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.