kandy news web
kandy news web

ඩෲෆි ගේ ඇත්ත කතාව

0 52
 
මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා පොලිසියේ දැනට සේවයේ නිරත වැඩිම ජීවිත ගණනක් බේරා දුන් පොලිස් නිලධාරියා ගැන කිව්වොත් වඩාත් නිවැරදියි. ඔහුගේ නම ඩෲ‍ෆි. 
 
උසස් වර්ගයේ ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ පොලිස් සුනඛයෙකුට දාව ඔහු උපදින්නේ 2012 දී. ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛයෙක් ලෙස 2013 දී සේවයට එක් කරගන්නා ඩෲ‍ෆිට විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා යි. 
 
C4 ඇතුළු පුපුරන ද්‍රව්‍ය දුර තියා හඳුනා ගැනීමට ඇති ඔහුගේ සුවිශේෂී දක්ෂතාවය නිසා ඔහුව උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයන් සඳහා යොදවා ගන්නවා. 2016 දී ජොනී බට්ටෙකුට හසු වූ ඔහුගේ එක් පාදයක් අහිමි වී බඩ යටිනුත් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවෙනවා. ඔබ දන්නවා සුනඛයින්ගේ කන් ඇසීම ඉතාමත් ප්‍රබලයි. අර බෝම්බයේ ශබ්දයෙන් ඔහුගේ කන් දෙකේම කර්ණ පටලයන් පැලී ගොස් කන් ඇසීම නැත්තටම නැති වෙනවා. ඔහු ඉමහත් වේදනාවට පත් වී මරුවා අසළටම ගොස් අනූ නවයෙන් දිවි ගලවා ගන්නවා.
 
ඩෲ‍ෆිගේ ආබාධිත තත්ත්වය අනුව සේවයෙන් විශ්‍රාම යැවිය යුතු වුවද, ඔහුගේ දක්ෂතාවයට සම කළ හැකි වෙන කිසිදු නිල සුනඛයෙකු මේ වෙන තුරු ශ්‍රී ලංකා පොලිසියේ නෑ. ඒ අනුව ස්වීඩනයෙන් ආනයනය කරන ලද විශේෂිත ප්ලාස්ටික් කකුලක් භාවිතා කරමින් යළිත් පොලිස් සේවයට එක් කර ගන්නා ඔහුව උතුරු නැගෙනහිර නොවන ප්‍රදේශ වල පුපුරන ද්‍රව්‍ය සෙවීමේ රාජකාරී සඳහා යොදවා ගන්නවා.
 
සිය පුදුමාකාර ඉව යොදාගනිමින්මේ  වන විට ඩෲ‍ෆි විසින් සොයාගෙන ඇති බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය 364 ක්. ඒ අතුරින් ජනාකීර්ණ ප්‍රදේශ වලදී සොයාගත් බෝම්බ ප්‍රමාණය 37ක්. එනිසා බේරුණ ජීවිත ගණන පමණක් 1200 කට වැඩි බවට පොලිස් වාර්තා වල දැක්වෙනවා.
 
පසුගිය දා පිටකො‍ටුවේ බෝධිය අසළ තිබී බෝම්බ බෑගයක් සහ ඩෙටනේටර් තොගයක් සොයා ගත්තේත් ඩෲ‍ෆි විසිනුයි. එනිසා ඒ අවට ජීවිත පමණක් 70 කට අධිකව බේරී ඇති බවට CCTV කැමරා මගින් ගණනය කරන ලද වාර්තාවක දැක්වෙනවා.
 
බොහෝ පොලිස් නිලධාරීන් ළඟ නැති සුවිශේෂී ගුණයක් ඩෲ‍ෆි ළඟ තිබෙනවා. එනම් ඩෲ‍ෆි පාරේ ගමන් කරද්දී පිටස්තරයෙක් මස් ක‍ටුවක් විසි කළත් ඔහු එය කන්නේ නෑ. ඒ ඔහු ලත් පුහුණුවේම කොටසක් ලෙසටයි. එසේ පුහුණු කොට ඇත්තේ ඩෲ‍ෆිගේ ආරක්ෂාව වෙනුවෙන්.
 
බටහිර රටවල පොලිස් සුනඛයින් වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අයුරින් ශ්‍රේණීන් හිමි වෙනවා. ඒ අනුව හරිනම් ඩෲ‍ෆි සිටිය යුත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ (Assistant Superintendent of Police) ශ්‍රේණියේ බවයි පැවසෙන්නේ.
 
ශ්‍රී ලංකාව තුළ ඔහුට නිසි ගෞරවය ලැබුණා ප්‍රමාණවත් ද යන සැකය ඇති වෙනවා. නමුත් පොලිස් සුනඛ අංශයේ නිලධාරීන් පවසන්නේ සුනඛයින්ට ගෞරවයෙන් ඇති ප්‍රයෝජනයක් නැති බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ සැප පහසුවෙන් ජීවත් වීම බවයි.
 
ශ්‍රී ලංකා පොලිසිය වර්ණවත් කළ මෙම නිලධාරියා වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිනවා. පොලිස් සුනඛ අංශයේ පළපුරුදු සාජන් වරයෙක් ඔහුව මෙහෙයවන අතර, ඔහුගේ ආරක්ෂාව ඇතුළු ආවතේව කටයුතු සඳහා සන්නද්ධ පොලිස් කොස්තාපල් වරයෙක් පැය 24 පුරා ශිෆ්ට් ක්‍රමයට යොදවා තිබෙනවා. එසේම ඩෲ‍ෆි ඇතුළු අනෙකුත් පොලිස් නිල සුනඛයින් වෙනුවෙන් පළපුරුදු වෛද්‍යවරයෙක් පොලිස් නිල සුනඛ අංශයේ සිටිනවා.
 
රාජකාරී සඳහා ඩෲ‍ෆි රැගෙන යාමට පැමිණෙන සාජන්වරයා ඩෲ‍ෆි ට කර පටිය පැළඳවීමට පළමුව ඩෲ‍ෆි ඉදිරියේ සීරුවෙන් සිට සැලියුට් එක ගැසීම පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන්ට සාමාන්‍ය දර්ශනයක්. ඒ ඔහු අතින් බේරුණ මිනිස් ජීවිත වෙනුවෙන් අපේ රටේ ඉන්න පුදුමාකාර මිනිස්සු කළ ගුණ දක්වන විදිහ කිව්වොත් වඩාත් නිවැරදියි. පොලිස්පති යද්දී පාරේ අයිනට නොවන උසස් පොලිස් නිලධාරීන්, ඩෲ‍ෆි යද්දී අයිනට වී ඔහුට ඉඩ දෙන්නේ ඔහුට ඇති බය නිසාද නැතහොත් ගෞරවය නිසාදැයි හරියටම කීමට නොහැකියි.
 
ඩෲ‍ෆිට දැන් වයස අවුරුදු 7 ක්. ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ සුනඛයෙක් වසර 9-13 අතර කාලයක් ජීවත් වෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව තවත් වසර කිහිපයක් ඔහු අප රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කරනු ඇතැයි අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා.
 
උපුටා ගැනීමකි. ♥️

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More