kandy news web
kandy news web

මාතරදී සහ මොණරාගලදී අහිමි වූ තරුණ ජීවිත සහ සමාජ මාධ්‍ය

0 183

මේ  දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඔබ නිරන්තරයෙන් දක්නා පුවත් කිහිපයකි. මාතර ප්‍රදේශයේදී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙක් විසින් ඝාතනයට ලක්කිරීමේ පුවත මේ අතරින් සුවිශේෂි වේ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති වන කතබහ මෙලෙස වාර්තා කරනු ලබයි. 

මාතර ඇළවේල්ල ප්‍රදේශයේදී පසුගිය 24 වනදා අදාළ ඝාතනය සිදුව තිබෙන්නේ පාසල් සිසුවෙකුට තවත් සැකකරුවෙක් පිහියෙන් ඇනීමෙනි. මේ වන විට ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා පොලිස් අත්අඩංගුවේ පසුවේ. එහි තෙවන සැකකරු ලෙස පසුගිය 27 වනවදා අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි සුනුරු විමුක්ති ජයවීර නමැති පාසල් සිසුවෙකි. එම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ අය බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙලිව තිබෙන අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 

AD2

අදාළ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා දෙසැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. එම සැකකරුද 17 වන වියේ පසුවන්නෙකි. එසේම එදිනම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්්යාලයට ගොස් භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට පත් විය. 

සිදු කරන ලද පරීක්ෂණ අනුව මේ වන විට කරුණු අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ සහෝදරයා සහ ඝාතනය සිදු කළ පාසල් සිසුවාගේ පෙම්වතිය අතර ඇති වූ බහින් බස්වීමක් ගැටුමට මුල්වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඝාතනය සිදු කළ පාසල් සිසුවා විසින් අවස්ථා ගණනාවකදී පහරදීම් සිදු කර තුවාල සිදු කර තිබූ බවද වාර්තා වෙයි.  

පසුගිය 24 වන දින නැවත ගැටුමක් හටගෙන තිබෙන අතර ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාට එල්ල කළ පිහි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබේ. මෙහිදී සමාජ මාධ්‍යයේ අදහස් දක්වන ඇතමුන් පවසන්නේ මෙය එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් විකාශණය කරනු ලබන මෙගා ටෙලි නාට්‍යයක ඇති දර්ශන පෙළක් අනුසාරයෙන් ලබාගත් ආදර්ශයක් මත මෙවැනි දේ සඳහා ළමුන් යොමු වන බවයි.

එසේම පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී මහජන නියෝජිතයින් හැසිරුණු ආකාරය ආදර්ශයට ගනිමින් මෙවැනි හැසිරීම් වාර්තා වන බවත් ඇතමුන්ගේ අදහසයි. කෙසේ හෝ වේවා පාසල් සිසුන් මෙවැනි ක්‍රියාවන්ට පෙළඹීම පුවත්පතක් ලෙස අප කිසිදු ලෙසකින් අනුමත නොකරන අතර අප මේ සම්බන්ධයෙන් සමාජ සේවා අමාත්‍යංශයේ උපදේශන නිලධාරිණි තුෂිනි විතානගේ මෙනෙවියගෙන් විමසා සිටියහ. 

මෙය සමාජ මාධ්‍ය නිසා සිදු වූ දෙයක් නවීන තාක්ෂණය හේතුවෙන් සිදු වූ දෙයක්, විදේශීය  හෝ දේශීය ටෙලි නාට්‍ය නිසා සිදු වූ දෙයක්ද යන්නට යම් යම් අයට අර්ථ නිරූපණය කළ හැකිය. නමුත් පොදුවේ ගත් කළ සංස්කෘතිය විසින් අපට උරුම කරදී තිබූ සමහර හර පද්ධතීන් අප අතරින් ගිලිහී යන්නේද යන ගැටලුව මෙතුළින් පැන නගින බවත් ඇය විසින් ප්‍රකාශ කරයි. පාසල් දරුවන් අතර තිබිය යුතු විනය සංයමය කියන දේ තරු බිහි කිරීමේ ක්‍රමවේදය තුළදී අධ්‍යාපනය තුළින් ගිලිහී ගොස් ඇතිද යන්න පිළිබඳ සැකයක් මතුව තිබේ. එලෙසම අධ්‍යාපන රටාව තුළින් විනය සහ සංයමය ආදී වන හොඳ ගුණාංග ගිලිහී ගොස් තරගකාරී තත්ත්වයකට ළමයා පත් කිරීම තුළින් ළමුන්ගේ මනසට තරු සංකල්පය ඇති වීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් හටගන්නේදැයි සොයා බැලිය යුතු බවද ඇය අවධාරණය කරයි. 

එසේම දරුවා සහ පවුල අතර පවතින සම්බන්ධතාවයද මෙවැනි දේ සඳහා බලපාන බව ඇය විසින් පෙන්වා දෙයි. එසේම සමාජ මාධ්‍ය දෙස බැලූ කල අපට විශාල ගැටලුවක් ලෙස අපට දක්නට ලැබෙන්නේ ළමුන් අතර ජංගම දුරකථනය ජනප්‍රිය වීමත් සමාජ මාධ්‍ය වැඩි ලෙස භාවිත කිරීමත් තුළින් දුරකථනය කියන දේ තවදුරටත් මිනිසා භාවිත කරන මෙවලමක් වනවා වෙනුවට දුරකථනය විසින් මිනිසා පාලනය කරන තත්ත්වයකට පත්ව ඇති බවයි. මෙලෙස සයිබර් විලේජයේ ෆැන්ටසි ගොඩ නගා ගැනීම සහ හුදෙකලාව මෙන්ම සම්බන්ධතා බිඳවැටීම් නිසා මෙවැනි තත්ත්වයන්ට පත්වන්න හැකි බවද ඇයි වැඩිදුරටත් පවසයි. එසේම ඇය වැඩිදුරටත් අවධාරණය කරන්නේ අර්ථාන්විත කලාකෘති බිහි නොවීමද මෙවැනි තත්ත්වයන්ට හේතුවක් වන බවයි. 

මේ අතර මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවියන් දෙපිරිසක් අතර ද ගැටුමක් මේ උණුසුම අතරම හටගෙන තිබේ. එහිදී පාසල් සිසුන් අතර ඇති වන ගැටුම් අද වන විට පාසල් සිසුවියන් අතරටද ව්‍යාප්ත වීම සම්බන්ධයෙන්ද අප තුෂිනි විතානගේ මෙනෙවියගෙන් කරුණු විමසා සිටියා. 

එහිදී බාලිකා පාසලක දැරියන් ගැටුමකට යොමු වන්නේ කෙසේද යන්න අප විමසා බැලිය යුතුය. සාමාන්‍ය රටාව අනුව පිරිමි ළමුන් ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇති කර ගැනීම සිදුවනු සුලබය. එහෙත් මෙලෙස ගැහැනු ළමුන් ගැටුම් ඇති කර ගැනීම අනුමත කළ නොහැකි බවත් ගැහැනු ළමුන් යනු සමාජයේ සංයමය පවත්වා ගැනීම සහ ජීවය රැක ගැනීම සඳහා ප්‍රජනන කාර්ය සිදු කරන සමාජයේ යහපත් තත්ත්වයකට පත් කරන පිරිසක් ලෙස සිටින පිරිසක් බවත් ඇය අවධාරණය කරයි. එසේම තවදුරටත් අපට පිරිමි සහ ගැහැනු ලෙස වෙන් කර  සමාජය ඉදිරියට ගෙන යාමට මෙවැනි පිරිසක් සිටින්නේද යන්න ගැටලුවට කරුණකි.  තමන් බාලිකාවක්ය තමන් මාතෘත්වය ලැබිය යුතු කාන්තාවක්ය යන හැඟීම මගහැරි යාම සිදුවන බවද ඇය ප්‍රකාශ කරයි. 

එසේම මොනරාගල මාගන්දනමුල්ල සුමේධ වැව ආසන්නයේදී ද පසුගිය 24 වනදා තරුණයකු තම පෙම්වතියට පහරදී ගෙල සිරකර ඝාතනය කර පසුව සිරුර වැවට ගෙනැවිත් දමා තිබූ පුවතක්ද වාර්තා විය. මෙහිදී ඝාතනයට ලක්වූයේ බඩල්කුඹුර වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අවිවාහක තරුණියකි. අදාළ තරුණිය මොනරාගල සිරිගල ප්‍රදේශයේ ඇති සැකකරුගේ සහෝදරියකට අයත් රූපලාවන්‍යගාරයක රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස සේවය කර තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය විය. ඝාතනය සිදු කළ සැකකරු මොනරාගල, වැලියාය රත්තනපිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. අදාළ සැකකරු එම තරුණිය සමග වසර දෙකක සිට ප්‍රේම සම්බන්තාවයක් පවත්වා ඇති බවත් වාර්තා වේ. අදාළ ඝාතනය සිදු කරන ආකාරය මාගන්දනමුල්ල ගමේ තරුණයන් පිරිසක් විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර තිබේ. පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස මිනිස් ජීවිතයක් අහිමි කරන අවස්ථාවක එම ආසන්නයේ සිටි පිරිසගේ හැසිරීම සම්බන්ධයෙන්ද අප සමාජ සේවා අමාත්‍යංශයේ උපදේශන නිලධාරිණි තුෂිනි විතානගේ මෙනෙවියගෙන් විමසා සිටියා. ඇය පෙන්වා දුන්නේ අදාළ වීඩියෝ පටයේ දැක්වෙන ලෙස එම ස්ථානයේ සිටින සුනඛයා කෘත ගුණ දන්නා අයෙකු ලෙස සුනඛයාට හැකි අයුරින් ප්‍රතිචාර දක්වන බවත් මනසින් උසස් ලෙස ගැණෙන මිනිසා සුනඛයාටත් වඩා පහත් මට්ටමකින් හැසිරෙන බවත්ය. එසේම අදාළ වීඩියෝව මගින් පැවසෙන්නේ එවැනි අවස්ථාවකදී ඊට මැදිහත් නොවන ලෙස පොලිසිය පවසා ඇති බවත් එම වීඩියෝ කරන පිරිස පවසයි. කෙසේ වෙතත් තුෂිනි විතානගේ මෙනෙවිය ප්‍රශ්න කර සිටින්නේ එම ස්ථානයේ සිටි අයෙකුගේ පවුලේ අයෙක්ට මෙවැනි දෙයක් සිදු වූයේ නම් ඔවුන් දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්නයි. 

කෙසේ හෝ වේවා… මේ වන විට මෙම සියලු  සිදුවීම් සිදුව අවසන්. මාතරදී වටිනා තරුණ ජීවිතයක් සහ මොනරාගලදී තවත් තරුණ ජීවිතයක් අවසන් වී හමාරය. අප දැන් කළ යුත්තේ ඒ දෙසා බලා මතුවට එවැනි දේ සිදු නොවන ලෙසට කටයුතු සැකසීමයි. ඒ සඳහා මුලින්ම තමා සමාජයට ආදර්ශයක් ලෙස ජීවත් වීමට වග බලා ගන්න. ඒ තුළින් සමාජය යහපත් වනු ඇත. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More