kandy news web
kandy news web

ආනන්ද සමරකොන් මහතාගේ මරණයේ අභිරහස

0 119

එගොඩහගේ ජෝර්ජ් විල්ප්‍රඩ් අල්විස් සමරකෝන් යැයි කියූ විට ඔහු ගැන කිසිවෙක් හෝ දන්නේ නැත. නමුත් ආනන්ද සමරකෝන් යන නාමය නොදන්නා කෙනෙක් සිරිලක පොලවේ සිටීමම පුදුමයට කරුණකි.

කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම හොඳින් අඳුරනු ඇත. ගීත ප්‍රබන්ධකයකු, ගායකයකු, චිත්‍ර ශිල්පියකු, සංගීතඥයකු, නාට්‍ය නිෂ්පාදකයකු, නැටුම් ශිල්පියෙකු, චිත්‍රපට තිර රචනය සහ පසුබිම් ගීත නිර්මාපකයකු, ගුරු භවතකු ඈ විවිධ ශිල්පයන්හි දස්කම් පෑ සමරකෝන් මහතා ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමන සත්‍යයෙන් තොර එකක් යැයි ලොවට කියා පෑ පුද්ගලයෙකු විය. 

AD2

මෙතුමන් විසින් රචිත නමෝ නමෝ ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස අදටද අභිමානයෙන් යුතුය සියලු දෙනා ගායනා කරයි.

එතුම්න් විසින්  ජාතික ගීය ලියා ඇත්තේ ඉන්දියාවේ සිට ලංකාවට ගුවනින් පැමිණෙන අතරවාරයේදීය. ඒ. සී. පී. ජයසුරිය නමැති අයෙකු දේශාභිමානී ගීයක් කරන්නැයි කළ ඉල්ලීමට සාවධානව සවන් යොමු කිරීමක් වශයෙනි. 1940 ඔක්තෝබර් 20 වැනි දින මහ රාත්‍රියේදී මේ ගීතයේ උත්පත්තිය සිදු විය.4

එවකට ගාල්ල මහින්ද විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවය කරමින් සිටි මෙතුමා මේ ගීය ප්‍රථමයෙන්ම ගැයීම සඳහා ගාල්ල මහින්ද විද්‍යලායේ සිසුන්ට ඉඩකඩ ලබාදී තිබුණි. පසුව කව් ගී පබැදුම් එක්කර ඉදිරිපත් කළ ‘කුමුදුනී’ නිර්මාණ එකතුවට ‘නමෝ නමෝ මාතා’ නැමැති ගීය එක්තැන් කර තිබේ. පසුව 1950 ජාතික ගීය සඳහා දීප ව්‍යාප්තව පැවැත්වූ තරගයට මේ ගීය ඉදිරිපත් කරනු ලැබුවේ සමරකෝන් මහතාගේ ප්‍රිය බිරියයි. එයට හේතු වූයේ එවකට එතුමා ඉන්දියාවේ වාසය කළ නිසාය.

සමරකෝන් මහතාගේ අනුදැනුම යටතේ ඉදිරිපත් කළ ‘නමෝ නමෝ’ ගීතය අවසන ජාතික ගීය ලෙස තේරී පත් විණි. මෙය ජාතික ගීය ලෙස නිර්දේශ කරනු ලැබුවේ එවකට ග්‍රාම සංවර්ධන ඇමැති වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාය. 1951 දී කළ එම නිර්දේශය එම වසරේ නොවැම්බර් 22 දින කැබිනට් මණ්ඩලය මගින් සම්මත කෙරිණි. මේ පිළිබඳ වූ නිල නිවේදනය 1952 මාර්තු 22 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත.

‘නමෝ නමෝ’ ගීය 1946 දී හිස් මාස්ටර් වොයිස්ලේබලය යටතේ WN 11 දරන තැටියට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් ජාතික ගීය ලෙස මේ ගීතය තේරී පත්වීමෙන් අනතුරුව එතුමන්ට රු. 2500 ක මුල්‍යමය ත්‍යාගයක් හිමිවී ඇත. තමන් ප්‍රකාශයට පත් කළ කෘතියක ඇති ගීයක් බව පවසමින් තෑගි මුදල් ඉල්ලා පොත් ප්‍රකාශක නඩු දැමීමටද පසුබට නොවිණි.

මේ සමයේ මේ සිදුවීම නිර්දය ලෙස විවේචනය කරමින් කාටුන් ඇදීමට පවා සමහරු උත්සාහ කළේය. ජාතික ගීයේ ගණ වැරැදි බවත් අපායාක්ෂරයකින් (නමෝ නමෝ හි ‘න’) ආරම්භ වී ඇති නිසා රටට විනයක් වන බවක් පවසමින් සමහරු ‘නමෝ නමෝ’ යන්නට පෙර ශ්‍රී ලංකා මාතා යන වදන් එක් කර රචකයාගේ නිර්මාණය වෙනස් කිරීමත් මෙතුමාගේ සිත් තැවුලට පත් කිරීමට හේතු විය.

ආණ්ඩු පෙරළියට ගීයේ වස් වැදීම හේතුවී ඇති බවත් ගීයේ මුලට එන ‘න’ අක්ෂරය අසුබ නිසා ඩී. එස්. සේනානායක මහතා මිය ගිය බවත් එකට සිදු වූ බොහෝ විපත්වලට මෙය හේතුවක් බව පැවසීමත් සමරකෝන් මහතාගේ ජීවිතය කලකිරවීමට හේතුවක් විණි. මේ බව එතුමා එවකට සිටි විපක්ෂ නායකවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාට 1962 අප්‍රේල් 3 දාතමින් යුතුව යැවූ ලිපියක පවා සඳහන්ව තිබේ.

1957 දී තමන්ව රැකියාවෙන් නෙරපා යැවීම පවා සමරකෝන් මහතාගේ ජීවිතයට වද දුන් කරුණක් විය. ගුවන් විදුලි, ග්‍රැමෆෝන් ගීත කලාවට නව පණක් දුන් ‘පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ, විලේ මලක් පිපිලා කදිමයි, සුනිල ගුවනෙ පායා දිලෙන්නා, කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි, බැස සීතල ගඟුලේ, සිරු සරු සාර කෙතේ, පොඩි මල් එතනෝ, පුදමු මේ කුසුම්, ඇසේ මධුර ජීවනයේ ගීතා, සුමනෝ පොඩි සුමනෝ, එන්නද මැණිකේ මමත් දියඹටා, විලේ මලක් පිපිලා’ වැනි බොහෝ ගීත රසිකයාට පුද දී එපමණක් නොව රටට ජාතික ගීයක් පුද කර එතුමාණන්ට අවාසනාවන්ත ලෙස සිය ඉරණම් ගමන යාමට සැලැස්වීය. කොළඹ ජාතික රෝහලේ 23 වැනි වාට්ටුවේ නිදි පෙති පානය කිරීම නිසා රෝගාතුරව සයනයේ වැතිර සිටි සමරකෝන් මහතා 1962 අප්‍රේල් 05 වැනිදා සවස 6.15 ට පමණ අපෙන් සදහටම වෙන්ව ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 51 ක් විය. 

ඔහු මියගොස් අදට වර්ෂ 55ක් ඉක්මගොස් අවසන්ය. 

උපුටා ගැනීම – අන්තර්ජාලයෙනි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More