kandy news web
kandy news web

මානසික ආතතිය රෝගයක්ද ?

හිරුනිකා මධුභාෂිණී

0 124

ලොව ජීවත් වන සෑම පුද්ගලයෙකුටම ශාරීරික හා මානසික සෞඛ්‍ය ඉතා වැදගත් වේ .අද වනවිට සමාජය තුල පවතින අවිවේකි ජිවන රටාව සහ තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ ශාරීරික සෞඛ්‍ය පිලිබදව දක්වන සැලකිලිමත් බව අඩු වී ඇති අතර ඊටත් වඩා මානසික සෞඛ්‍ය පිළිබඳ දක්වන උනන්දුව බොහෝ අඩු වී ඇති  බවයි දක්නට ඇත්තේ .

සැම පුද්ගලයෙකුම ක්‍රියාකාරී දවසක ඇරඹුම මුලික වශයෙන් සිත හා මනස මුල් කර ගනී .සැහැල්ලු මනසකින් තම කාර්ය ආරම්භ කර පවත්වා ගත හැකි නම් අපිට එහි උපරිම ඵල නෙලා ගත හැකිය  .නමුත් කණගාටුවට කරුණ වන්නේ අද වන විට බොහෝ දෙනා පීඩාකාරී මනසකින් යුක්තව තම දවස ආරම්භ කිරීමයි .ඉන් ඔවුන්ගේ කාර්ය සාධන මට්ටමෙහි පහල යාමක්ද සිදු වන බව සොයා ගෙන ඇත .

AD2

අසහනකාරී මනසකින් යුතුව කාලය ගත කිරීමෙන් ඇති වන අතුරු ඵලය නම් මිනිසා  ආතති තත්වයකට පත් වීමයි .මෙම තත්වයට දිගින් දිගටම මුහුණ පෑමෙන් මානසික ආතතියට පවා ලක් විය හැක .

එදිනෙදා ජීවත් වීමේදී බොහොමයක් අවස්ථාවලදී මානසික පීඩනයක් ඇති වීම සාමාන්‍ය තත්වයකි .නමුත් එමගින් පුද්ගලයාගේ මනසට දරා ගැනීමේ හැකියාව අඩු වී ඇති වන තත්ත්වය මානසික ආතතිය ලෙස හදුන්වයි .මෙය පුද්ගලයන්ගෙන් පුද්ගලයට ඇති වන ආකාරය අනුව වෙනස් වේ .

සමහරුන් මෙම තත්ත්වයට මානසික රෝගී තත්ත්වයක් ලෙසද අර්ථ දක්වයි .මෙහිදී අප අවධානත්මකව සිතා බැලිය යුත්තේ මෙය මානසික රෝගී තත්වයක් නොවේය යන්න පිලිබදවයි .මෙම මානසික ආතති තත්ත්වයට දිගින් දිගටම ගොදුරු වීමෙන් විශාදය නම් රෝගී තත්ත්වය අතිවේ .වඩාත් සුදුසු වන්නේ මෙවන් තත්ත්වයන්ට ලක් නොවී සිටීමයි .ඒ සදහා ආතති තත්ත්වය සහ විශාදය නම් රෝගී තත්ත්වය පිලිබදව සවිස්තරාත්මකව දැන ගෙන සිටීම වඩාත් යෝග්‍ය වේ .

මානසික ආතතිය මිනිසාට ඇති වන ස්වභාවික හැගීමකි .එය ඕනෑම පුද්ගලයෙකු තුල ඇති විය හැකි තත්ත්වයකි . එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා වගේම ඒ ඒ අවස්ථාවන්ට අනුව ක්‍රියා කල යුතු ආකාරයන්ද වෙනස් වේ .මානසික ආතති තත්ත්වය බොහෝ විට ජිවිතයේ සාර්ථකත්වය පසු ගාමි කිරිමට ද හේතුවේ .

මානසික ආතති තත්වයකින් කිසියම් කාර්යක නිරත වීම නිසා එම කාර්යයේ ගැටළුකාරී තත්ත්ව උද්ගතවේ .එසේම එමගින් සිතුවිලි වලට මෙන්ම ක්‍රියාකාරකම් වලටද බලපෑම් කිරීමට හැකියාව ඇත  .එවන් තත්ත්ව සිදු වීමට පෙර වලක්වා ගැනීම නුවනට හුරුය .මානසික ආතතිය රෝගී තත්වයක් නොවුනද එක්තරා අන්දමක රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි.

ඒවා නම්,

1 .හිසරදය

2.නොරුස්සන සුළු බව

3.ආත්ම අභිමානය හීන වීම

4.ඍණාත්මක සිතුවිලි පහළ වීම

5.වැඩි පුර කතා කිරීම හෝ කතා නොකර පැත්තකට වී සිටීම

6.අමතක වීම

7.කරකැවිල්ල

ආදියයි.

මානසික ආතති තත්ත්වය ඇති වීමට නියම හේතුවක් හෝ හේතුන් හදුනා ගත නොහැකිය.ඊට විවිධ සාධක හේතු විය හැකිය .සුලභ හේතු ලෙස ,

1.ආර්ථික ගැටළු

2.සමාජයීය ගැටළු

3.පවුල තුල ඇති වන ගැටළු

4.රැකියා කරන ස්ථානය තුල උද්ගත වන ගැටළු කාරී වාතාවරණය

5.තරගකාරී අධ්‍යාපන රටාව

6.ආදරේ සම්බන්ද ප්‍රශ්න

දැක්විය හැකිය .

කිසියම් අයෙකු මානසික ආතති තත්වයකින් පෙලෙන්නේ නම් එම පුද්ගලයා තුල කොටිසොල් ,ඇඩ්රිනලින් ,නොඇඩ්රිනලින් ආදී ආතති හෝර්මෝන ශ්‍රාවය වේ .මේවා රුධීරයට වැඩි පුර එකතු වීමෙන් මානසික පීඩනය සහ අවධානම සමග කටයුතු කිරීමට ශරීරය හැඩ ගැසේ.මෙම සංකල්පය පහර දීම හෝ පල යාම ලෙස හදුන්වයි .මෙම ආතති තත්වයෙන් දිගින් දිගටම පෙලෙන්නේ නම් මෙම හෝර්මෝන මට්ටම රුධිරය තුල ඉහල ගොස් විවිධ රෝග ලක්ෂණ ඇති කිරීමට ද හේතු වේ .මෙවැනි තත්ත්ව විනිශ්චය කිරීමට විශේෂිත පරික්ෂණයක් නොමැති අතර පවුලේ තොරතුරු ,රැකියාව පිළිබද තොරතුරු ,සමාජයීය තොරතුරු පිළිබද ඉතිහාසය විමසීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නියම කරයි .

දිගු කාලින මානසික ආතතිය නිසා අධික රුධිර පීඩනය ,අංශබාගය ,හදවත් රෝග ,දියවැඩියාව ,අසාමාන්‍ය බිය ,ආහාර ගැනීමේ රටාවේ ඇති වන රෝග ,ප්‍රතිශක්තිය දුර්වල වීම, නින්ද ආශ්‍රීත ගැටළු ,මත්පැන් ,දුම්වැටි ,මත් ද්‍රව්‍ය භාවිතය ඉහල යාම ආදිය දැක විය හැකිය .

සෞඛ්‍ය නොවන උපාය මාර්ගවලින් වැලකි සිටීමෙන් මෙවන් තත්ත්ව බොහෝ දුරට පාලනය කරගත හැකිය .එනම් දුම්වැටි ,මත්ද්‍රව්‍ය භාවිතය ,අධික ලෙස ආහාර ගැනීම ,සමාජයෙන් වෙන් වී හුදකලාව සිටීම අධික ලෙස නිදා ගැනීම හෝ නොනිදා සිටීම ,කේන්ති ගැනිම සහ ප්‍රචණ්ඩත්වය ආදී දේවල් වලින් වැලකි සිටීම  දැක්විය හැකිය .

සෞඛ්‍ය සම්පන්න උපාය මාර්ග ලෙස ඇවිදීම ,ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගැනීම ,ප්‍රමාණාත්මක නින්ද ,සුරතල් සතුන් සමග කාලය ගත කිරීම ,සංගීතය රස විදීම,බයිසිකල් පැදීම ,සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව ,පිහිනීම ,චිත්‍රඇදීම ,ලිපි හෝ කවි ලිවිම …ආදිය දැක්විය හැකිය .මිට අමතරව කය හා මනස ලිහිල් කරන භාවනා වල නිරත වීම ,ව්‍යායාම කිරීම ,විනෝදාංශවල නිරත වීම දැක් විය හැකිය .

මානසික ආතති තත්ත්ව හදුනා ගෙන නිසි පරිදි කටයුතු කිරීමෙන් සාර්ථක ජිවිතයක් ගත කල හැකිය ,එනමුත් වඩාත් නුවනට හුරු වන්නේ එවන් තත්ත්ව ඇති වීමට පෙර නිසි පරිදි කටයුතු කිරීමයි .ඒ සදහා මෙම ලිපිය මහෝපකාරී වේ යයි සිතමි .

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More