kandy news web
kandy news web

ප්‍රදේශ හතක අනතුරුවලින් අටක් මරුට – තිදෙනෙක්ට තුවාල

0 83

ගෙවී ගිය පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ හතකදී සිදු වූ අනතුරුවලින් වයස අවුරුදු 12ක දියණියක් ඇතුළුව පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. 

ඊයේ(15) රාත්‍රී 9.15ට පමණ කොළඹ – හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය අසල පදික මාරුවකින් පාර හරහා ගමන් කරමින් සිටි පුද්ගලයකු කාර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

AD2

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. 

මෙලෙස මියගොස් ඇත්තේ මහරගම, නාවින්න, ජනතා මාවතේ පදිංචිව සිටි විමල් කාරියවසම් නමැති 58 හැවිරිදි අයෙකි. මියගිය පුද්ගලයාගේ මෘත දේහය කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. 

අනතුර සම්බන්ධයෙන් කාර් රථය සහ එහි රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. 

මේ අතර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ එරාවුර් පොලිස් බලප්‍රදේශයට අයත් සිත්තංඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පා පැදියක ගැටී සිදු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ පාපැදිකරු සන්දිවේලි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. 

අනතුරෙන් සිත්තංඩි 04, වේලායුධම් පාර හි පදිංචි පොන්නම්බලන් ත්‍යාගරාජා නමැති 53 හැවිරිදි අයෙකු මරණයට පත්ව තිබෙනවා.

මෘත දේහය සන්දිවේලි රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරට වගකිවයුතු බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඒරාවූර් පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. 

රඹුක්කන දොඹේබඩ වහව හන්දිය පෝක්සිටි අසලදී ඊයේ (15) රාත්‍රී 7ට පමණ සිදු අනතුරකින් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වහව හන්දිය පෝක් සිටි අසලදී රඹුක්කන දෙසට ධාවනය වූ යතුරු පැදියක මාර්ගය හරහා ගමන් කළ පදිකයකු ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා රඹුක්කන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ කැබැල්ලගොල්ල වත්ත, කහඹිලියාගොඩ, රඹුක්කන ලිපිනයේ පදිංචිව සිටි උඩහගල්ලෑල්ලේ ගෙදර ආරියරත්න නමැත්තෙකි. 

මෘතදේහය කෑගල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ යතුරුපැදිකරුද තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

කොස්වත්ත පොලිස් වසමේ නාරවිල යක්දෙස්සාව, පන්සල හන්දිය අසලදී නාරවිල දෙසට ධාවන වූ යතුරු පැදියක් කනුවක ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියේ පැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙනවා.

බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ සැමුවෙල් ලක්මාල් නන්දසිරි නමැති කොස්වත්ත, නාරවිල පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. 

කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

මේ අතර කටුවන ගොමඩිය මාර්ගයේ රෙඩ් බොක්ස් ඇඟලුම් ආයතනය අසලදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ අයෙකු කටුවන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ගොමඩිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු කටුවන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඔහු මියගොස් සිට තිබෙනවා.  

අනතුරෙන් මරණයට පත්වූයේ අළුදෙණිය, මැදකන්ද, උඩගොමඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි වජිර සමන්ත නමැති 30 හැවිරිදි අයෙකි.  අනතුර සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

අරලගංවිල දළුකාව හන්දිය ප්‍රදේශයේදී එකම දිශාවට ගමන් කළ බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අරලගංවිල පොළොන්නරුව මාර්ගයේ දළුකාව හන්දිය ප්‍රදේශයේදී අරලගංවිල දෙසට ධාවන වූ පෞද්ගලික බස් රථයක ඊට පිටුපසින් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක් බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යතුරු පැදියේ පැදිකරු සහ පසුපැදිකරුවෙක් මරණයට පත්ව තිබෙනවා. 

දළුකාන මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි එච්.එම්. මදුෂ දේශප්‍රිය සහ 18 හැවිරිදි ඒ.ඩී. පුෂ්ප කුමාර  යන දෙදෙනා මරණයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පසුපැදිකරු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. 

මේ අතර පන්නල දංකොටුව මාර්ගයේ ඉන්ධන හල ආසන්නයේදී සිදු වූ අනතුරකින්ද වයස අවුරුදු 12ක දැරියක් මරණයට පත්ව තිබෙනවා.

දංකොටුව දෙසට ධාවන වූ ලොරි රථයක් එකවර නැවැත්වීම හේතුවෙන් ඊට පිටුපසින් එම දිශාවටම ධාවන වූ යතුරු පැදියක් ලොරි රථයේ ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් පැදිකරුගේ දියණිය මාර්ගයේ වැටී තිබෙනවා.

එලෙස වැටුණු දියණිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයකට යට වී බරපතල තුවාල ලබා සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාරා මදුෂානි ආලෝකා නමැති 12 හැවිරිදි දැරියක් මෙලෙස මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.  

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ සහ ටිපර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More