kandy news web
kandy news web

සුභ තෛපොන්ගල් දිනකට ආසිරි

0 98

තෛපොන්ගල් යනු 

ලොවපුරා දමිල ජනතාව සමරන තෛපොන්ගල් උත්සවය අදට යෙදී තිබේ. මෙය අස්වනු මංගල්‍යය ලෙසද හැ‍දින්වෙයි. පොන්ගල් යන්නෙන් උතුරා යාම හෙවත් පිරී යාම සංකේතවත් කෙරේ.තායි යනු දමිල දින දර්ශනයේ පළමු මාසයයි. තායි මාසයේ පළමු දිනයේ පොන්ගල් උත්සවය සැමරීම සිදු කෙරේ. ඇතැම් ප්‍රදේශවල මෙය දින 4ක් පමණ සැමරෙන අතර මාර්ගාසි මාසයේ අවසන් දිනයේ සිට තායි මාසයේ තුන්වන දිනය දක්වා එම දින 4 යෙදෙයි. ඒ අනුව ජනවාරි 12-15ත් අතර කාලයේ මෙම උත්සවය පැවැත්වෙයි. සූර්යයා මකර රාශිගත වීම සහ උතුරු දෙසට ගමන් ඇරඹීමද මේ දිනයේ සිදුවෙයි. එබැවින් මෙය මකර සංක්‍රාන්තිය හෝ උත්තරායනය යන නම් වලින්ද හැදින්වෙයි. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීමත් සමග පෘථිවි උෂ්ණත්වය වැඩිවී දිවා කාලය දිගු වෙයි. මෙදිනට සූර්යයා පිදීමද සිදුකෙරේ. මහාභාරතයේ එන භිෂ්මා තම මිනිස් ජීවිතය අත්හැරීම සිදුවූයේද සූර්යයා උතුරු දෙසට හැරීමත් සමග බව විශ්වාස කෙරේ.

AD2

ඉතිහාසය
————-
තෛපොන්ගල් උත්සවයට වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති බවට සෙල්ලිපි සාක්ෂි දරයි. මධ්‍යතන චෝල යුගයේදී මෙය නම් කර ඇත්තේ “පුතීයඩු“ ලෙසිනි. පුතීයඩු යන්නෙන් වසරේ පළමු අස්වැන්න සංකේතවත් වෙයි. මෙය “ටමිසාර් තිරුනාල්“ ලෙසද හැදින්වෙයි. එහි අරුත වන්නේ දමිල ජනයාගේ උත්සවය යන්නයි.

තෛපොන්ගල් උත්සවය හැදින්වෙන විවිධ නම්
—————————————————
තෛ පොන්ගල් – තමිල්නාඩු , ශ්‍රී ලංකා
මකර සංක්‍රාන්ති – අන්ද්‍රා ප්‍රදේශ්, බෙංගාලය, බිහාරය, ජාර්ඛන්ඩ්, ගෝව, කර්ණාටක, ඔරිස්සා, මධ්‍ය ප්‍රදේශ්, මහා රාෂ්ට්‍ර, මනිපූර්, තෙලංගානා, උත්තර් ප්‍රදේශ් 
උත්තරායන – ගුජරාට් සහ රාජස්ථාන්
ලෝරි – හර්යානා, හිමාචාල් ප්‍රදේශ්, පන්ජාබ්
මාග් බිහු/ භොගාලි බිහු – ඇසෑම්
මාඝේ සංක්‍රාන්ති/ මකර් සංක්‍රාන්ති – නේපාලය

සිරිත්
——-
තෛපොන්ගල් දිනය ස්තුතිය පුද කිරීමේ දිනයක් ලෙසද සැලකෙයි. සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය සංකේතවත් කරමින් කිරි ඉතිරවීම මෙදිනට සිදුවෙයි. අස්වැන්න සරුකරගැනීමට උදව් උපකාර කල හිරු, වර්ෂාව සහ ගවයා ප්‍රධාන ගොවිපලේ සතුන්වෙත ස්තුතිය පුද කිරීම මෙදිනට සිදු කෙරේ. දමිල ජනතාව අලුත් ඇදුම් ඇදගන්නා අතර ගවයන්ද නහවා ඔවුන්වද සැරසීම සිදු කෙරේ.

පොන්ගල් නමින් හැදින්වෙන විශේෂ බතක් මෙදිනට සකස් කෙරේ. “කෝලම්“ වලින් වර්ණ ගන්වා සැරසූ මැටි මුට්ටියකට සහල් සහ කිරි (පොල් කිරි හෝ එළ කිරි) යොදා කිරිබතක් පිලියෙල කෙරේ. මෙයට “පයාරු“ ලෙස හැදින්වෙන බැදගත් මුං ඇට ,හකුරු හෝ සීනි, කජු, වියලි මිදි සහ කරදමුංගු එක්කෙරේ. පොන්ගල් පිලියෙල කරගත් පසු කෙසෙල් කොළවල තබා පළතුරු සමග ආහාරයට ගනී. අඹ හෝ කෙසෙල් මේ සදහා යොදා ගැනේ. පොන්ගල් ආහාරයට ගැනීමට පෙර අස්වැන්න සශ්‍රීක කර ගැනීමට උදව් කල ස්වභාවික වස්තූන්ට ස්තුති කරමින් යාඥාවක් පැවැත්වෙයි. ඉන්පසු පොන්ගල් බත අසල්වැසියන් සමග බෙදාගැනීම සිදු කෙරේ.

පොන්ගල් උත්සවය දින 4ක් සැමරෙන විට එඑය පහත පරිදි නම් කෙරේ.

භෝගි
——–
පොන්ගල් දිනයට පෙර දිනය මෙලෙස නම් කෙරේ.නිවාස පිරිසිදු කිරීම සතුන් නැහැවිම ආදී අලුත් කිරීම් මෙදිනට සිදු වෙයි.

තෛ පොන්ගල්
—————
පොන්ගල් උළෙල සමරමින් චාරිත්‍ර සිදු කෙරෙයි.

මාට්ටු පොන්ගල්
——————-
සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සැලකෙන ගවයා මූලික කරගෙන මෙම දිනය වෙන් කෙරේ. ජල්ලික්කට්ටු ලෙස හැදින්වෙන ක්‍රීඩාව සහ කැළෑවේ වෙසෙන හරකුන් හීලෑ කිරීම මෙදින සිදු කෙරේ. එමෙන්ම ගවයන් වර්ණ ගන්වා ඔවුන් සරසා ඔවුන්ට රසවත් ආහාර ලබාදීමද මෙදින සිදු කෙරේ. කාන්තවන් සහ දැරියන් විසින් “කානු පිඩි“ නම් චාරිත්‍රයක් සිදු කරයි. මෙහිදී පක්ෂීන්ට ආහාර ලබාදෙමින් සිය සහෝදරයන්ගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කිරීම සිදු කෙරෙයි.

කානුම් පොන්ගල්
——————–
කානුම් පොන්ගල් දිනයේදී තෑගි බෝග රැගෙන ඥාති හිත මිතුරන් හමුවීම සිදු කෙරේ.

අන්ද්‍රා ප්‍රෙද්ශයේ තෛපොන්ගල් අත්සවයේ අවසන් දිනය මුක්කනුමා ලෙස හදුන්වන අතර ගවයන්ට වන්දනා කිරීම මෙහිදී සිදු කෙරේ.

තෛපොන්ගල් උත්සවය මගින් එකමුතුවීම, අලුත් වීම සංකේතවත් කෙරේ. එකිනෙකා සමග සුහදතාව වර්ධනය කරගෙන නව ගමනක් ඇරඹීමම සංකේතවත් වෙයි. උදාවූ තෛපොන්ගල් දිනය ඔබටත් , රටටත් , සමස්ත ලෝකවාසින්ටත් සුබ පල ගෙන දෙන ඇරඹුමක් වේවා!

(උපුටාගැනීමකි)

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More