kandy news web
kandy news web

මාතලේ නුග ගහ කපන්නේ මැණික් ගන්නද?

0 212

සිංහලේ වීරයින් ගැන සිහිපත් කරද්දී මාතලේ පුරවරය මගහැරෙන්නේ නැත. එදා වීරපුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා ඇතුළු සිංහලේ වීරයන්ගේ 1848 කැරැල්ලේ දී මාතලේට හිමි වූයේ ප්‍රබල ස්ථානයකි.

එවන් වූ කන්ද උඩරට සාඩම්බර, අභීත සිංහලයන් විසූ මාතලේ පුරවරයේ ඓතිහාසික වටිනාකම් ඇති තැන් ද බොහෝය. ඒ අතරින් මාතලේ නගර මධ්‍යයේ ඇති අතුපතර විහිදි විසල් නුගරුක ද එකකි. වසර තුන්සියයකට එහා අතීතයකට නෑකම් කියන මේ නුග ගස ගැන ජනප්‍රවාද ද පවතී.

AD2

1815 දී සුද්දන් විසින් කන්ද උඩරට යටත්කරගත්තායින් පසුව මේ ප්‍රදේශයන් හි වතුවගාව ඇරඹුණේය. සුද්දන් ඒ වතුවගාවන්හි වැඩට එන ලෙස දේපළ අහිමිකරන ලද ලංකාවේ මිනිසුන්ට දැනුම් දී ඇතත් අනුන් යටතේ කුලියට වැඩකර පුරුද්දක් නැති උඩරට සිංහලයෝ සුද්දන්ගේ දැනුම් දීමට අනුව වැඩට ගියේ නැත. ඉන්පසු සුද්දන් හැරී ඇත්තේ ඉන්දියාව දෙසටයි. වැඩකරමින් සිටි ද්‍රවිඩ ජනතාව බොරුවෙන් රවටා ලංකාවට ගෙන එන්නට කටයුතු කළහ.
“ලංකාව කියන රටේ තේ ගස් යට උම්බලකඩ තියෙනවා…”

සුද්දන් ඉන්දියානු මිනිසුන් රවටා තිබුණේ එලෙසය. එසේ ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වූ ඉන්දියානු ද්‍රවිඩයන් මූදුකරයේ සිට පාගමනින් කන්ද උඩරටට කැඳවා ආහ. ඒ එන ගමනේදී අතරමගදී බොහෝ මිනිසුන් මියගිය බවත් කියයි. ඉතිරිවූ පිරිස කැඳවා විත් වෙහෙස නිවා ගන්නටත්, රැය පහන් කරන්නටත් නැවතු පළමු නවාතැන වන්නේ මේ නුගගස යට බවට ජනප්‍රවාදයේ එයි. එය සනාථ කෙරෙන විසල් සාක්ෂියක් ද ඒ අසලම ඇත. ඒ ලෝ ප්‍රකට පත්තිනි දේවාලයයි. ඒ අනුව බලන කල්හි මේ නුගගසේ වයස අවුරුදු තුන්සීය ද ඉක්මවයි.

එවන් දිගු ඉතිහාසයක් ඇති වස්තුවක් පුරාවස්තුවක් බව ඕනෑම අයෙක් දනිති. පුරා වස්තුවක් යනු දේශයක් රැකගත යුතු වස්තුවකි. එහිදී පුරාවස්තුවක් පිළිබඳ කටයුතු කිරීමට රජයකට වුවද විශේෂ නීති ප්‍රතිපාදන ඇත. අනෙක් පසින් නුගගස යනු සංරක්ෂිත ශාකයකි. සංරක්ෂිත ශාකයක් කෙනකුට හිතුමතයේ විනාශ කරන්නට කිසිසේත් අයිතියක් නැත. ඒත් එවන් ඓතිහාසික වටිනාකමක් ඇති මාතලේ නුග ගසට අභාග්‍ය සම්පන්න ඉරණමක් අත්වෙමින් පවතී. කිසිදු නීතිමය වටපිටාවක ආවරණයක් නොලබාම හිටි අඩියේම විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වූ ඉරිදාවක මේ නුගගස කපා බිම හෙළන්නට සැරසී ඇත. ඒ මාතලේ නගරාධිපතිවරයා විසිනි. නුගගසේ විහිදී තිබූ විසල් අතුපතර සියල්ල කපා දමා ඉහළට විහිදෙන අත්තක් දෙකක් පමණක් ඉතුරු කර තිබුණි. නගර මධ්‍යයේ ඉහළ නැගි නුගගස දැන් ඇඳුම් නැති මිනිසකු වාගේය.

නුවර – කොළඹ පෞද්ගලික බස් නැවතුම පවතින්නේ මේ නුගගස යටයි. එසේම ඒ බස් නැවතුමට බසයක් බලාපොරොත්තුව පැමිණෙන මිනිසුන් සෙවණ ලබන්නේ මේ නුගගසෙනි. මාතලේට පායන අව්වේ දැඩි හිරු රශ්මියෙන් නුවර කොළඹ බස් නැවතුමේ සිටින පදික වෙළෙන්දන්ට සිසිල ලැබෙන්නෙත් මේ විසල් නුගරුකේ අතුපතරෙනි. ඊටද වඩා මේ නුගගස ඇසුරේ ජීවත් වුණ කුරුලු සමූහයාද බොහෝය. නුග ගස කපා හෙළීමෙන් ඒ ලැබූ සෙවණ, සිසිලස, රැකවරණය නොමැතිව අසරණ වන්නෝ බොහෝය.

මාතලේ නගරවැසියකු හා සමාජ ක්‍රියාකරුවකු වන කමල් පී. අලහකෝන් නුගගහට අදාළ අයවළුන් කළ විනාශය දෑසින් දුටු අයෙකි. “පහුගිය 16 වැනිදා මම හිටියෙ මාවනැල්ලේ. උදේ නවයට විතර මට කතා කරපු ගාමිණී ජයතිස්ස පරිසරවේදියා කිව්වේ අන්න නුගගහ කපනවා. මමත් මාතලේ නෑ. පුළුවන් දෙයක් කරන්න කියලා. ගිය කටයුත්ත තියෙද්දී සවස 3 වනවිට මං නුග ගහ ළඟට ආවා.

පොලිස් බළඇණියක් වටකරගෙන නුගගස කැපීමේ නිරතව සිටින වත්මන් නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ ප්‍රමුඛ සහචරයන් පිරිසක් එතැන හිටියා. උදේ කාලයේ මේ සිදුවීමේ පින්තූර ගත් අයෙක් අත්අඩංගුවට ගත්බව දැනගෙන හිටියත් මට අවශ්‍ය පින්තූර කිහිපයකුත් ගත්තා. මම නගරාධිපතිවරයා ළඟට ගිහින් ඇහුවා, ඇහැට පෙනි පෙනී අපරාධයක් සිද්ධවෙන නිසා. ‘මේ ගහ දිරලා. මේකෙන් නගරයට එන ජනතාවගේ ජීවිතවලට අනතුරක් තියෙනවා. නගරාධිපති හැටියට මට වගකීමක් තියෙනවා ඒ අනතුර ඉවත්කරන්න.’

මගේ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ එහෙම. අවුරුදු තුන්සීයක් විතර පරණ මේ ගහ යට හැම අවුරුද්දකම තේරු උත්සවයට එන විශාල සෙනගක් ගැවසුණා. ඒත් කවදාවත් පොඩි අතුකෑල්ලක්වත් වැටිලා කාටවත් සීරුණා කියලා අහලා නෑ. නගර සභාවෙන් ජනතාවට ඉටුවිය යුතු බොහෝ දේවල් ඉටුවෙලා නැතුව තියෙද්දී නුගගහ ගැන ඇති වුණ හදිස්සිය මොකද්ද කියාත් මා ඇසූ විට එතැන සංවාදයක් ඇති වුණා. ඔහුගේ බීමත් සහචරයන් මට විවිධාකාර උත්තර දුන්නා.

එය තනිව කළ හැකි දෙයක් කියා නොහැඟුණත් ගහක අතු කපන්නට වුවත් ශාක විශේෂඥයකුගේ දැනුම ලබා ගත යුතු බව මතක් කළා. නගරාධිපතිවරයා කිව්වෙ ඔහු හොඳ ප්ලාන්ටර් කෙනෙක් කියලා. ඔහු තේ වතුවල වැඩ කළ කෙනෙක් නිසා තේ සහ නුග කියන්නේ දෙකක් කියලා මතක් කළා. අතු කපා ගසට කර ඇති හානිය නිසා ගස මියගියොත් වගකීම භාරගන්නේද ඇසූ දෙයට උත්තරයක් ලැබුණේ නෑ. “ඊට පසුදාට ශාක විශේඥයකුගේ ප්‍රතිකාර ගසට ලබාදෙන ලෙස පොරොන්දු කරවාගෙන ඔහු එතැනින් නික්ම ගියත් ඒ පොරොන්දුව ඉෂ්ට නොවූ නිසා ඊට පසුදා නුගගස කපා හෙළීමට විරෝධය පා උද්ඝෝෂණයක් ද පැවැත් වුණේය.

” මේ ගහ කපන එකේ සාධාරණ සැකය හැමෝටම තියෙනවා. මීට අවුරුදු 30 කට විතර කලින් මේ නුගගහ ළඟ බුදු පිළිමය හැදුවේ මාතලේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වූ මුදියන්සේ මුදලාලි. එහිදී නිදන් වස්තු ලෙස ඔහු ඇතුළු ව්‍යාපාරිකයන් තැන්පත් කර තිබුණේ ඒ කාලේ වැඩිපුර හමුවූ ගෙවුඩ මැණික්. එතකොට මේ හදිස්සියේ ජනතාවගේ ආරක්ෂාව මතක් වුණේ නිදන් වස්තු නිසාද කියලත් කාටත් සැකයි..” ඒ නගරයේ කාටත් හිතෙන සැකය ගැනත් කමල් පී. අලහකෝන් කියන්නට අමතක කළේ නැත.

” මෙතැනට මෙච්චරකල් කිව්වේ නුග ගහයට හන්දිය කියලා. මොනයම් විදියකින් හරි මෙතැනින් නුගගහ නැතිවෙලා ගියොත් කියන්න වෙන්නෙ දේවාල හන්දිය කියලයි..” ඒ මාතලේ පුරවරය ජන්ම භූමිය කරගෙන සිටින හිටපු මන්ත්‍රීවරයකු සාහිත්‍යධරයකු වන පියදාස වැලිකන්නගේය. නුගගහේ අතු සිඳීම ගැන නාගරික මන්ත්‍රීවරුන්ගේ ද ගැටලු ඇති බව කීවේ මාතලේ ජනතා විමුක්ති පෙරමුණු නාගරික මන්ත්‍රී ටී. එම්. වයි. එම්. නිලාන් ය. “නගරාධිපති ගස් කපන එකේ යටි අරමුණක් තියෙනවා. ඔය අතු දිරලා කියන්නෙ බොරු. ආපදා කියන පනතේ වගන්තිය යටතේ ඒක ඉවත් කරන්න බලයක් තියෙනවා. ඔය නුගගහ කැපීම සම්බන්ධව අපි සභාවේ ප්‍රශ්න කළා. එක්තරා පෞද්ගලික දුරකථන සමාගමකින් උස කුලුනක හතර පැත්තට විහිදෙන විදුලි පහන් කණුවක් හදන්න කියනවා ඔය අතු කැපුවෙ. එතකොට අඹගහ මුල ඔය වගේ කණුවක් හයි කරලා තියෙනවා.

වැඩිපුර නොදන්නවට ඒක ඇතුළෙ අභ්‍යන්තර ව්‍යාපාරයක් තියෙනවා. අදාළ දුරකථන සමාගමේ සන්නිවේදන තරංග මාලා විහිදෙන පද්ධතියක් ඕක ඇතුළෙ ක්‍රියාත්මකයි. ගස්වල අතු තියෙනකොට තරංග මාලාවලට ඒක බාධාවක්. ඔය ගැන සභාව ප්‍රශ්න කරද්දි කිව්වේ අපි පසුවට සභාවට මුදලක් ගමු. ඉදිරියේදී මේ දුරකථන සමාගම සභාවට කැමරා හයිකරලා දෙන්න පොරොන්දුවෙලා තියෙනවා කියලයි. ඔය නුගගහ කපපු එකට බොහොමයක් දෙනා අකැමැතියි. දැන් හරියට තරුණ කොල්ලො කොණ්ඩෙ කැපුවා වගෙයි නුග ගහත්. ඔය ගහේ අතු කපනවා කියලා සභාවෙ කිසි කෙනකුට කිව්වෙත් නෑ.

මීට කලින් විහාර පාරේ කොට්ටම්බා ගහක් කැපුවා මහ රෑ 10.30 ට විතර. එතැන ළමයින්ට පදික මාරුවක් හදන්න කියනවා. ඒත් ඒකෙන් එතැන තියෙන ත්‍රී වීල් පාක් එකට යනඑන මං නැතිවෙනවා. ඊළඟට මීට මාසෙකට විතර කලින් විහාර පාරේ තිබ්බ ඇහැළ ගස් ඔක්කොම කැපුවා. නගරාධිපතිවරයා ගහක විද්‍යාත්මක වටිනාකම දන්නේ නෑ. දන්නවා නම් ගස්වලින් පරිසරයට වෙන්නෙ මොනවද කියලා මෙහෙම ගස් කපන්නෙ නෑ. ඔහු වතු අධිකාරිවරයෙක් කියනවා. ඒත් අඩු තරමේ නුගගහේ කපාපු තැන්වලට ලික්විඩ් එකක් දාලා ගහට ආරක්ෂාව දීලා නෑ. එහෙම බලනකොට හිතෙනවා නුගගහ මරන්නමයි කපන්නෙ කියලා.”

නාගරික මන්ත්‍රීවරයා එසේ කියද්දී මාතලේ නගරයේ චමින්ද නීල් පෙරේරා කිව්වේ කොළඹ කොඩිගහ මෙන්ම මාතලේ නුගගහත් ලංකාවම දන්නා ප්‍රසිද්ධ ස්ථානයක් බවයි. ” අපි දන්නා විදිහට මේ ගහ අවුරුදු තුන් හාරසීයක් පරණයි. අපි පොඩි කාලෙත් මේ ගහ මේ විදිහමයි. කවදාවත් අත්තක් කඩා වැටිලා කාටවත් කරදරයක් වුණේ නෑ. ඒවගේම ජනතාව තුළ ලොකු භක්තියක් විශ්වාසයක් මේ ගහට තියෙනවා. ඒ නිසාම මේ ගහට වඳින පුදන ජනතාවකුත් ඉන්නවා. මාතලේ නුගගහ මුල බස් නැවතුම නම හැදුණෙත් නුගගහ නිසයි. බස් නැවතුම් පොළේ මගී ආවරණ නෑ. අව්වට වගේම මහ වැස්සටත් ජනතාවට සෙවණ දුන්නේ මේ ලොකු නුගගහේ විශාල අතුයි. අද ඒක නැති කරලා. ගහ දැක්කම විශාල දුකක් සහ වේදනාවක් තියෙන්නේ. අපි දැන්වත් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ගහ කපන එක නවත්තලා නුගගහ රැකලා දෙන්න කියලා.”

ගසේ සිටි කුරුලු සමූහයාට වූයේ කුමක්දැයි දන්නා අයෙක් නැත. නුගගහේ කොකුන් සහ කපුටන් විශාල ප්‍රමාණයක් සිටියේය. කුරුල්ලන් සිටින්නේ නම් කූඩු ද පවතී. කූඩු තියෙන්නේ නම් බිත්තර හෝ පැටව් ද නොඅනුමානවම සිටියි. කපා දැමූ අතූ ඉවත් කළා මිසක කුරුල්ලන් සිටියාද, මළාදැයි කවුරුත් බලා නැත. මෙවන් ගස්වල කුරුලු කූඩු ද බොහෝ සෙයින් පවතින්නේ නගරයේ හැම තැනකම එවන් විශාල ගස් නැති නිසාය. සාමාන්‍යයෙන් ගසක් හෝ ගසක අතු පතර සිඳින්නේ නම් ඒ ගසේ කුරුල්ලන් සිටින්නේ නම් ගස කපන්නට පෙර ඒ බැව් වන වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුය. එවිට ඔවුන් පැමිණ ඒ සතුන් එතැනින් ඉවත් කරනු ලබයි.

මෙවන් කාර්යයකදී ආරක්ෂිත පක්ෂියකුට හානි සිදුකළ බව අධිකරණයේ ඔප්පු වුවහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් ද වේ. අද වෙනතුරුත් මාතලේ නගරය පරිහරණය කෙරෙන කිසිවකුටත් මේ නුග ගස ආශිර්වාදයක් මිස ප්‍රශ්නයක් වූයේ නැත. විනාශ වී යන පරිසරය රැකගන්නට රටේ හැම පැත්තකම මහ පොළොවේ පැළ හදද්දී පරිසරය රකින මහ ගස් මේ අයුරින් බිම හෙළීම වරදක්දැයි ඇසිය යුතු නොවේ. රටකට ආදරය කරන, පරිසරයට ආදරය කරන, ගහට කොළට සත්තුන්ට ආදරය කරන මිනිසෙකු ඒ ගැන සිතිය යුතුය. ඔහුට ඒ බව දැනිය යුතුය.

සත්සරණී තෙන්නකෝන් 
එම්.ඒ.ද සිල්වා

(උපුටා ගැනීම අරුණ පුවත්පත)

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More